ට්‍රම්ප්ට ඇතුළෙන්ම විරෝධය!

ට්‍රම්ප්ට ඇතුළෙන්ම විරෝධය!

වෙනිසියුලාවෙ ජනාධිපති නිකොලා මදුරෝ අත්අඩංගුවට ගැනීමෙන් පසුව ට්‍රම්ප් විසින් ග්‍රීන්ලන්තය, කියුබාව සහ ඉරානයට එරෙහිව තර්ජන සහ පීඩන උපක්‍රම තීව්‍ර කිරීම ඇතුළු අත්තනෝමතික ක්‍රියා කලාපයන්ට එරෙහිව ට්‍රම්ප් ට සහය දක්වන පිරිස් වලින් පවා විරෝධය පල වෙමින් පවතින බව වාර්තා වේ. කියුබාව “වැටීමට” සූදානම් බව එක්සත් ජනපද ජනාධිපතිවරයා විශේෂයෙන් මාධ්‍ය අමතා ප්‍රකාශ කළ අතර ඉරානයට ද ඉතා තදින් පහර දෙන බවට ද ඊයේ තර්ජනය කළේය. ට්‍රම්ප් ගේ මෙම ක්‍රියා කලාපයට එරෙහිව විශේෂයෙන් යුරෝපා සංගමයේ රටවල හා දකුණු ඇමරිකානු රටවල ජනතාවගේ දැඩි විරෝධය මේ වන විට ඇමරිකන් විරෝධී ස්ථාවරයක් දක්වා ලොව පුරා වර්ධනය වෙමින් පවතී. මේ නිසා ට්‍රම්ප් විරෝධින් හා පාක්ෂිකයින් පවසා සිටිනුයේ ට්‍රම්ප් විසින් රටේ හා ඇමරිකානු ජනතාව ගේ ආරක්ෂාව විශාල අනතුරට ලක් කර ඇති බවයි.

එජා සංවිධානයේ පඥාප්තිය, හෝ ජාත්‍යන්තර නීතියට කිසිදු ගෞරවයක් සිදු නොකරමින් හුදු තම අධිරාජ්‍යවාදී අභිලාෂයන් ප්‍රදර්ශනය කිරීමට ට්‍රම්ප් බිය වී නැතැයි යුරෝපා මාධ්‍ය වල දැඩි ලෙස විවේචන එල්ල වෙමින් පවතිනුයේ ට්‍රම්ප් විසින් ග්‍රීන්ලන්තය ද තම අණසකට ගැනීමට තීරණය කර ඇති නිසාවෙනි. ජනවාරි 4 වන ඉරිදා එයාර් ෆෝස් වන් නෞකාවේ පැවති මාධ්‍ය හමුවකදී ඩොනල්ඩ් ට්‍රම්ප් නැවතත් ග්‍රීන්ලන්තය, කියුබාව සහ ඉරානයට යලි තර්ජනය කළේය. වෙනිසියුලානු තෙල් වලින් ආදායමක් නොමැතිව හවානා කඩා වැටීම තුලින්ම කියුබාව “අල්ලා ගැනීම” දුෂ්කර නොවනු ඇතැයි ද ඔහු ඇස්තමේන්තු කළේය. ග්‍රීන් ලන්තය මාස දෙකකින් අල්ලා ගන්නා බවටද ඔහු අනාවැකි පල කර සිටියේය.

කියුබානු සම්භවයක් ඇති වර්තමාන එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ දැනටමත් අනතුරු ඇඟවීමක් කියුබානු පාලනයට නිකුත් කර ලැබ ඇත. මදුරෝ අත්අඩංගුවට පත්වීමේදී කියුබානු හමුදා සාමාජිකයින් 23ක් මිය යාම තුල වෙනිසියුලාව තුල කියුබානු බලපෑම ඉතා දැඩිව පවතින බවට ඇමරිකාව විශ්වාස කරනුයේ පාබල හමුදා ආක්‍රමණයකට යාම සිවි දිවි නසාගැනීමක් දක්වා වර්ධනය වීමේ හැකියාවද හොඳින් අධ්‍යයනය කිරීමෙන් බව හමුදා විශේෂඥයන්ගේ මතයයි. එම නිසාම වෙනිසියුලාවෙන් තෙල් අපනයනය නතර කිරීමෙන් පසුව ඒ මත මේ වන විට දැඩි ආර්ථික අපහසු තාවයන් ගෙන් පීඩා විඳින කියුබානු සමාජවාදී රජය පෙරලා දැමීමට ට්‍රම්ප් පරිපාලනය අපේක්ෂා කරනු ලබයි.

එසේම ජීවන වියදමට අදාළ විරෝධතාවලින් කම්පා වී ඇති ඉරානයට ද කිසියම් හෝ පෙලපාලිකරුවෙකු මිය ගියහොත් රටට “ඉතා දැඩි” පහරක් එල්ල වන බව ට්‍රම්ප් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. එහෙත් මේ වන විට 20කට අධික පිරිසක් ඉරානයේ මිය ගොස් ඇත. “අපි සූදානම්, සන්නද්ධ සහ හමුදා මැදිහත් වීමට සූදානම්,” යයි ඩොනල්ඩ් ට්‍රම්ප් ජනවාරි 2 වන දින තර්ජනය කර තිබුණි. ඊට ප්‍රතිචාර වශයෙන්, ඉරානයේ ඉහළම ආරක්ෂක ආයතනයේ ප්‍රධානියා වන අලි ලරිජානි හරහා ටෙහෙරාන් පාලනය ට්‍රම්ප්ට තරවටු කළේ “රටේ අභ්‍යන්තර කටයුතු වලට ඇමරිකානු මැදිහත්වීමක් සිදු වුවහොත් සමස්ථ කලාපයම අස්ථාවර කිරීමට සහ ඇමරිකානු අවශ්‍යතාවලට හානි කිරීමට සමාන බව ට්‍රම්ප් දැනගත යුතුය” යයි ප්‍රකාශ කරමිනි.

ඉරානය, කොලොම්බියාව, මෙක්ෂිකොව හා කියුබානු රජයන් සම්බන්ධයෙන් ඇල්මැරුණු ස්ථාවරයක සිටි යුරෝපා සංගමය කලබලයට පත් වුයේ ට්‍රම්ප් විසින් ඩෙන්මාර්කයට අයත් ග්‍රීන්ලන්තයටද ඈඳා ගන්නා බවට කරන ලද තර්ජනයත් සමගිනි. ඩෙන්මාර්ක අගමැතිවරයා තම භූමියට එරෙහි ඔහුගේ තර්ජන නතර කරන ලෙස ඉල්ලා සිටියද, ග්‍රීන්ලන්තය එහි “ආරක්ෂාව” සඳහා එක්සත් ජනපදයේ කොටසක් විය යුතු බවට ඇමරිකානු ජනාධිපතිවරයා තම ස්ථාවරය නැවත අවධාරණය කළේය.

“ජාතික ආරක්ෂක දෘෂ්ටිකෝණයකින් බැලුවොත් අපට ග්‍රීන්ලන්තය අවශ්‍ය වන අතර ඩෙන්මාර්කයට එය බලා ගැනීමට නොහැකි වනු ඇත,” යයි ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය හමුව අතරතුර අවධාරනය කළේය.

“ඇති ඇති, ඇති,” ග්‍රීන්ලන්ත අගමැති ජෙන්ස් ෆ්‍රෙඩ්රික් නීල්සන් ජනවාරි 5 වන සඳුදා ඇමරිකානු ජනාධිපතිවරයාගේ නැවත නැවතත් තර්ජනවලින් පසුව ප්‍රකාශ කළේය. “තවත් පීඩනයක් නැත. තවත් උපහාසාත්මක වචන නැත. තවත් ඈඳා ගැනීමේ මනඃකල්පිත නැත. අපි සංවාදයට විවෘතයි. අපි සාකච්ඡා සඳහා විවෘතයි. නමුත් මෙය නිසි රාජතාන්ත්‍රික ක්‍රියා මාර්ග හරහා සහ ජාත්‍යන්තර නීතියට අනුකූලව සිදු කළ යුතුය,” යයි ග්‍රීන්ලන්ත රජයේ ප්‍රධානියා ෆේස්බුක් හි ලියා තැබීය. මහා බ්‍රිතාන්‍ය අගමැති Sir Keir Starmer ඍජුවම ග්‍රීන්ලන්තයට හා ඩෙන්මාර්කයට තම සහය පල කලේ ලොවම පුදුමයට පත් කරමිනි.

වෙනිසියුලාවේ අතිවිශාල තෙල් සම්පත් කෙරෙහි හා ග්‍රීන් ලන්තයේ ඛනිජ සම්පත් සහ උපායමාර්ගික පිහිටීම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උනන්දුව ඉස්මතු වී ඇති අතර ජේම්ස් මොන්රෝගේ වාසගම ඒකාබද්ධ කරන “ඩොන්රෝ මූලධර්මය” ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටි. තම නව ජාතික ආරක්ෂක උපාය මාර්ගයේ කොටසක් ලෙස, බටහිර අර්ධගෝලයේ ඇමරිකානු ආධිපත්‍යය නැවත කිසිදා කාහට හෝ ප්‍රශ්න කිරීමට ඉඩක් නොමැති බවටද ඔහු මාධ්‍ය වෙත පවසා සිටීම බටහිර රටවල දැඩි විවේචනයට භාජනය වී ඇත. බටහිර ලිබරල් මාධ්‍ය පවා මේ වන විට විවෘතවම ඇමරිකන් අධිරාජ්‍යවාදය යන නම යොදා ගනිමින් සිටින අතර ට්‍රම්ප් විරෝධී දකුණු ඇමරිකානු වාම ව්‍යාපාර හා ගරිල්ලා ව්‍යාපාර වලට තම මාධ්‍ය වල වැඩි ඉඩක් ලබා දෙමින් ද සිටි.

කෙසේ වෙතත්, ට්‍රම්ප්ගේ මෙම අත්තනෝමතික ප්‍රකාශයන් ඔහුගේම කඳවුරේ රිපබ්ලිකන් වරු අතර, විශේෂයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට ගෙන ආ MAGA or (« Make America Great Again »),පදනම තුළ සිටින ඔහුගේ වඩාත්ම උද්‍යෝගිමත් ආධාරකරුවන් අතර දැඩි විවේචනයට භාජනය වී ඇත. සමාජ මාධ්‍යවල, ජනාධිපතිවරයාගේ ඇමරිකානු ආධාරකරුවන් බොහෝ දෙනෙක් මෙම මිලිටරි මැදිහත්වීම ප්‍රශ්න කරති. සමහරු බලයට පැමිණීමට පෙර ට්‍රම්ප් විසින් පොරොන්දු වූ ආර්ථික වර්ධනය, උද්ධමනය හා ජිවන වියදම අඩු කිරීම, “සාමයේ ජනාධිපතිවරයා” වීමට කැමති බවට කරන ලද ප්‍රකාශයන් අභියෝග කරමින් සිටින අතර විදේශීය රාජ්‍ය නායකයෙකු පැහැරගෙන යාමෙන් සැලකිය යුතු හානියක් ඔහුගේ ප්‍රතිරූපයට සිදු කරගෙන ඇති බවට ද පෙන්වා දේ. ට්‍රම්ප් විසින් එක්සත් ජනපදයට, විශේෂයෙන් උද්ධමනය අඩු කිරීමට, ආර්ථික ආරක්ෂණ වාදය යලි ඇති කිරීමට ප්‍රමුඛත්වය දෙන බවට පොරොන්දු වූ නමුත්, දැන් ඔහු නයිජීරියාවේ ගුවන් ප්‍රහාරවලින් දින දහයකට පසු විදේශයන්හි තවත් මෙහෙයුමක් නියෝග කළ බවට ඔවුන් දැඩි සේ ට්‍රම්ප් ට එරෙහිව චෝදනා ගොනු කරමින් සිටි.

නිදසුනක් වශයෙන්, මෑත දිනවල ට්‍රම්ප්ගේ පක්ෂයෙන් ඉවත් වූ ට්‍රම්ප් බලයට ගෙන ඒම සඳහා විශාල කාර්යභාරයක් සිදු කල MAGA ව්‍යාපාරයේ හිටපු උද්‍යෝගිමත් ක්‍රියාකාරිනියක වන ජෝර්ජියා මන්ත්‍රීනි මාජෝරි ටේලර් ග්‍රීන් විශ්වාස කරන්නේ මත්ද්‍රව්‍යවලට එරෙහි සටන යයි කියමින් වෙනිසියුලාවට යුධමය මැදිහත්වීම සාධාරණීකරණය කළ නොහැකි බවයි. “එක්සත් ජනපදයට ඇතුළු වන මාරාන්තික ෆෙන්ටැනයිල් බොහොමයක් මෙක්සිකෝවෙන් පැමිණේ. මෙක්සිකානු කාටෙල්වරුන්ට එරෙහිව ට්‍රම්ප් පරිපාලනය පියවර නොගත්තේ ඇයි?” යයි ඇය අසයි. විශේෂයෙන් වෙනිසියුලාවේ පාලන තන්ත්‍ර වෙනසක් බලහත්කාරයෙන් සිදු කිරීම සහ යුක්රේනයට එරෙහිව රුසියාව විසින් සිදු කරන ලද ආක්‍රමණය හෝ තායිවානයට එරෙහිව චීනය විසින් සිදු කරන ලද ආක්‍රමණය අතර වෙනසක් නොමැති බවයි. “බොහෝ MAGA ආධාරකරුවන් සිතුවේ ඔවුන් විදේශයන්හි ඇමරිකානු මැදිහත්වීම් අවසන් කිරීමට ට්‍රම්ප් හට ඡන්දය දුන් බවයි,”.

“අපිට ආපසු වැරදුනා මේ පුද්ගලයා බලයට ගෙන ඒමෙන්. ඔහු සේවය කරනුයේ ඇමරිකානු ජනතාවට නොව මහා ව්‍යාපාර, බැංකු සහ තෙල් විධායකයින්ට යයි NBC හි “Meet the Press” වැඩසටහනේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය මහත් සංවේගයෙන් යුතුව පවසා සිටියාය. මිශ්‍ර වාර්තාවක් ඇති ජනාධිපතිවරයෙකුට, විශේෂයෙන් ආර්ථික පෙරමුණ සම්බන්ධයෙන් කැපීපෙනෙන සංවර්ධනයක් නොපෙනෙන තත්වයක් තුල මෙම වසරේ ඇමරිකාවේ පැවැත්වීමට නියමිත මධ්‍ය කාලීන මැතිවරණය මගින් නොවැම්බර් මාසයේදී ට්‍රම්ප්ට පිළිතුරක් සපයනු ඇති බවට ඇතැම් ආර්ථික විශේෂඥයින් ද අනතුරු හඟවයි.

මේ අතර සෙනෙට් සභාවේ ඩිමොක්‍රටික් නායක චක් චෞමර් ප්‍රකාශ කරනුයේ මෙහෙයුම ඇමරිකන් කොංග්‍රසයෙන් අවසර නොගෙන සිදු කල “වගකීම් විරහිත” ක්‍රියාවක් බවයි. “මෙය මගේ ජීවිත කාලයේ සිදු වූ දෙවන අසාධාරණ යුද්ධයයි. මෙම යුද්ධය නීති විරෝධීයි,” යයි මේ අතර ඩිමොක්‍රටික් සෙනෙට් සභිකයෙකු සහ ඉරාක යුද්ධයේ ප්‍රවීණයෙකු වන රූබන් ගැලෙගෝ ප්‍රකාශ කළේය. එක්සත් ජනපදය “වෙනිසියුලාව සමඟ යුද්ධ කිරීමට” “කිසිදු හේතුවක්” නොමැති බව ඔහු තවදුරටත් මාධ්‍ය වෙත පවසා සිටියේය. කනෙක්ටිකට් හි ඩිමොක්‍රටික් සෙනෙට් සභිකයෙකු වන ක්‍රිස් මර්ෆි විශ්වාස කරන්නේ නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගැනීම සහ එක්සත් ජනපදය වෙනිසියුලාව අත්පත් කර ගැනීම රටේ ආරක්ෂාවට කිසිදු සම්බන්ධයක් නොමැති බවයි. “එය ප්‍රධාන වශයෙන් තෙල් හා ස්වාභාවික සම්පත් කොල්ල කෑමට අරමුණු කර ගත් ක්‍රියාන්විතයක් බවත්, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්තිය දූෂිත බවත් පවසා සිටියේය. රුසියාව, මැද පෙරදිග සහ දැන් වෙනිසියුලාව – ඒ සියල්ල ඔහුගේ මිතුරන්ට මුදල් ඉපයීම සඳහා විනා අපගේ හෝ රටේ ආරක්ෂාව පිණිස නොවේ,” යයි ඔහු තරයේ කියා සිටියේය.

ඩිමොක්‍රටික් පක්ෂ මන්ත්‍රී වරුන් බහුතරයක් පෙන්වා දෙන්නේ ඇමරිකානු සමාගම් දැනටමත් වෙනිසියුලාවට යාමට ව්‍යාපාරික චාරිකා සැලසුම් කරමින් එහි වේගවත් පැවැත්මක් ස්ථාපිත කිරීමේ උත්සාහයක නිරත වී සිටින බවයි. පසුගිය මාසයේ එක්සත් ජනපදයේ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් වසර 43ක සිර දඬුවමක් විඳිමින් සිටි හිටපු හොන්ඩුරාස් ජනාධිපති ජුවාන් ඔර්ලන්ඩෝ හර්නැන්ඩෙස්ට සමාව දී මදුරෝ මත්ද්‍රව්‍ය චෝදනා එල්ල කර අත්අඩංගුවට ගැනීම ගැන ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ දෙබඩි කම සමහර ඩිමොක්‍රටික් පාක්ෂිකයන් තරයේ විවේචනය කළහ. ආර්ථික කාරණා හා සෞඛ්‍යය වියදම් ඉහල යාම සම්බන්ධයෙන් ඇමරිකානුවන් ධවල මන්දිරය කෙරෙහි විශ්වාසය නැති කර ගනිමින් සිටින අවස්ථාවක හා ට්‍රම්ප් හා ළමා දුෂකයෙක් වන Jeffrey Epstein සහ සම්බන්ධය ආපසු හැරවීමට හා වසා ගැනීමට ගැසූ ගේමක් බවට ද පෙන්වා දෙමින් තවත් සමහරු එය හෙළා දුටුවෝය.

මේ අතර ඇෆ්ගනිස්ථානයේ හා ඉරාකයේ ඇමරිකන් හමුදා මෙහෙයුම් වල යෙදී සිටි හමුදා නිලධාරීන්ද තම හඬ අවදි කර ඇත. වෙනිසියුලාව ආක්‍රමණය කිරීම සැපයුම් සහ මෙහෙයුම් බියකරු සිහිනයක් වනු ඇති බවට හිටපු නාවික නිලධාරියෙකු වන ඩිමොක්‍රටික් පක්ෂ නියෝජිත Jake Auchincloss විසින් CNN වෙත පැවසීය. ඇමරිකානු සොල්දාදුවන් “වනාන්තරයේ නොව කාන්තාරයේ සටන් කිරීමට පුරුදු වී සිටිති” යයි ඔහු පෙන්වා දෙන්නේ වෙනිසියුලාවේ ජනගහනය මිලියන 28 ක් වන අතර එය ප්‍රංශයේ ප්‍රමාණය මෙන් එකහමාරකට වඩා විශාල භූමි ප්‍රදේශයක් පුරා පැතිරී ඇති අතර එයින් කොටසක් ඇමසන් වැසි වනාන්තරය තුළ පිහිටා ඇති නිසා, අනාගත වෙනෙසුවෙලා ගරිල්ලා ව්‍යාපාරයකට එය ඉතා හිතකර භුමියේ අමතර වාසියක් ද හිමිවනු ඇති බවයි.

ජාතික හා ජාත්‍යන්තර වශයෙන් එල්ලවන දැවැන්ත විරෝධය හමුවේ දකුණු ඇමරිකානු කලාපය සම්බන්ධයෙන් ඇමරිකානු පරිපාලනයේ ප්‍රතිපත්තිය පිළිබඳව ඉහළ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකට සහභාගී වීමෙන් පසු සඳුදා රිපබ්ලිකන් නීති සම්පාදකයින් පැවසුවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනිසියුලාව අත්පත් කර ගැනීමට හෝ නැවත ගොඩනැගීමට කිසිදු අදහසක් නොමැති බවට තමන් වෙත සහතික වූ බවයි.

” වෙනිසියුලාවට යැවීම සඳහා වූ එක්සත් ජනපද සන්නද්ධ හමුදා නොමැති අතර, අපි එම රට අත්පත් කරගෙන නැත,” රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ, ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සහ අනෙකුත් ඉහළ නිලධාරීන් සමඟ පැවැත් වූ රැස්වීමෙන් පසු ලුසියානා හි රිපබ්ලිකන් මන්ත්‍රී මණ්ඩල කථානායක මයික් ජොන්සන් වාර්තාකරුවන්ට පැවසීය.

මේ අතර කොංග්‍රස් අනුමැතියකින් තොරව වෙනිසියුලාවට එරෙහිව තවදුරටත් හමුදා ක්‍රියාමාර්ග ගැනීම වැළැක්වීමේ යෝජනාවක් මත සෙනෙට් සභාව මෙම සතියේ මුල් භාගයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත අතර, එය සෙනට් සභික Chuck Schumer විසින් සම අනුග්‍රහය දක්වන ලද යෝජනාවක පියවරක් බව රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටි. එක්සත් ජනපදයේ ආරක්ෂාව සඳහා අවශ්‍ය කෙටි හා සීමිත ක්‍රියාමාර්ග හැර වෙනත් ඕනෑම මිලිටරි ක්‍රියාමාර්ගයක් අනුමත කිරීම ජනාධිපතිවරයා නොව කොංග්‍රසය පමණක් කළ යුතු බවට නියම කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මග හැරීමට ජනාධිපතිවරුන් උත්සාහ කරන බවට රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් යන දෙඅංශයෙන්ම කොංග්‍රස් සභිකයින් දිගු කලක් තිස්සේ එල්ල කරන චෝදනාවක් වන අතර වෙනිසුවෙලා අර්බුධයත් සමග මෙම ඉල්ලීම දැඩිව ඇමරිකානු සමාජය තුල කතා බහට ලක් වී ඇත.

මේ අතර වෙනිසියුලාවේ සිදු කල ඇමරිකානු හමුදා මෙහෙයුමෙන් පසු දෙරට අතර ඉහළ යන රාජතාන්ත්‍රික ආතතීන් මධ්‍යයේ, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තර්ජනවලට ප්‍රතිචාර වශයෙන්, හිටපු M-19 ගරිල්ලා නායකයෙකු වන කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ සඳුදා ප්‍රකාශ කළේ තමා මව්බිම වෙනුවෙන් “නැවත අවි අතට ගන්නා” බවයි. තමන් සමග යලි එක්වන ලෙස තම සහෝදර ගරිල්ලා සාමාජිකයන් ගෙන් ඉල්ලා සිටි අතර එයට ප්‍රතිචාර වශයෙන් එරට ELN, FARC හා දකුණු ඇමරිකානු ගරිල්ලා ව්‍යාපාර රාශියක් ඒකමතික සහතික කර ඇත්තේ දකුණු ඇමරිකාවේ නිදහස වෙනුවෙන් අන්තිම ලේ බිඳුව දක්වා සටන් කිරීම සඳහා තනි යුධ පෙරමුණකට පැමිණීමට දෙවරක් නොසිතින බවයි.

Facebook
Twitter
LinkedIn