රටම එකට ජාතික මෙහෙයුම සාර්ථක කර ගැනීම සඳහා රාජ්‍ය නොවන සංවිධානත් එක් වෙයි

රටම එකට ජාතික මෙහෙයුම සාර්ථක කර ගැනීම සඳහා රාජ්‍ය නොවන සංවිධානත් එක් වෙයි

මත්ද්‍රව්‍ය රටින් මුලින් උපුටා දැමීම අරමුණු කර ගත් “රටම එකට” ජාතික මෙහෙයුම ශක්තිමත් කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද (02) මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මෙම විශේෂ සාකච්ඡාව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමති ආනන්ද විජේපාලගේ මූලිකත්වයෙන් පැවැත්වූ අතර මේ සදහා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශ ලේකම් රවී සෙනෙවිරත්න, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති ඉන්දික වන්නිනායක ඇතුළු අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක්ද මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීමේ කටයුතු සදහා දායකත්වය ලබා දීම අරමුණු කර ගත් රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයෝද සහභාගී වූහ.

මෙම සාකච්ඡාවේදී විශේෂයෙන් “රටම එකට” ජාතික මෙහෙයුම සාර්ථක කර ගැනීම සඳහා රාජ්‍ය නොවන සංවිධානවල සහයෝගය තවදුරටත් ලබා ගැනීම, රාජ්‍ය නොවන සංවිධානවල දායකත්වය වඩාත් විධිමත් කිරීම හා කාර්යක්ෂම ලෙසින් ලබා ගත හැකි ක‍්‍රම හඳුනා ගැනීම, ආයතන අතර සම්බන්ධතාවය වර්ධනය කර ගැනීම යනාදී කරුණු පිළිබදව විශේෂ අවධානයක් යොමු කරන ලදී.

රට තුළට මත්ද්‍රව්‍ය ගෙන ඒම වැළැක්වීමටත් රට තුළ මත්ද්‍රව්‍ය වෙළදාම වැළැක්වීම සඳහාත් විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක වන තත්වයක් තුළ මත්ද්‍රව්‍ය හා මත්ද්‍රව්‍ය වෙළදාම් කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමෙන් ඔබ්බට ගොස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කොට නිසි පරිදි සමාජගත කිරීමේ වැදගත් කම ඇමති ආනන්ද විජේපාල අවධාරණය කළේය. පුනරුත්ථාපන ක්‍රියාවලිය තුළදී රජය විසින් පවත්වාගෙන යන පුනරුත්ථාපන මධ්‍යස්ථානවලට අමතරව රාජ්‍ය නොවන සංවිධාන ඇතුලු පුද්ගලික අංශය විසින් පවත්වාගෙන යන පුනරුත්ථාපන මධ්‍යස්ථානත් වඩාත් විධිමත් ලෙස පවත්වාගෙන යාමේ වැදගත්කම පිලිබදවද මෙහිදී අවධාරණය කරන ලදී.

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීම සදහා වන “රටම එකට” ජාතික මෙහෙයුම වඩාත් සාර්ථක කර ගැනීම සදහා තම උපරිම දායකත්වය ලබා දීමට සාකච්ඡාවට සහභාගී වූ රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයන් තම එකගතාවය පළ කරන ලදී.

Facebook
Twitter
LinkedIn