අභියෝග තමයි අපිව පරීක්ෂා කරන හොඳම ලිට්මස් පරීක්ෂාව – කම්කරු ඇමති  

අභියෝග තමයි අපිව පරීක්ෂා කරන හොඳම ලිට්මස් පරීක්ෂාව – කම්කරු ඇමති  

රාජ්‍ය සේවකයන්ගේ වගකීම පිළිබඳව ලබා දුන් ප්‍රතිඥාවට සැබෑ අර්ථයක් එකතු කර, එම රාජ්‍ය සේවය තව තවත් දියුණු කර මහජන සේවය සැලසීමට සියල්ලන් ඇප කැප විය යුතු බව ඇමති සහ මුදල් හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු අද (01)  නව වසරට සුබ පතමින්, රාජකාරි ආරම්භ කිරිම වෙනුවෙන් පැවැති උත්සවයේ දි පැවසීය.

කම්කරු අමාත්‍යංශයේ මෙහෙවර පියස පරිශ්‍රයේ මෙම උත්සවය පැවති අතර අමාත්‍යංශයේ සහ කම්කරු  දෙපාර්තමේන්තුවේ නිලධාරින්, සේවක සේවිකාවන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහිදි මහජන මුදලින් වැටුප් ලබන රාජ්‍ය නිලධරයෙකු ලෙස රාජ්‍ය ප්‍රතිපත්ති හා අරමුණු ක්‍රියාත්මක කිරිමෙහි ලා පැවරෙන්නාවු කාර්යභාරය ඉටු කිරීම පිළිබඳව වූ ප්‍රතිඥාව සිංහල දමිළ භාෂා ද්විත්වයෙන්ම කරනු ලැබිණ.

එහිදි නව වසරට සුභාශිංසන එක්කරමින් කම්කරු ඇමති සහ මුදල් හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මෙසේ ද පැවසීය.

“සියලු දෙනාටම ආරම්භ වූ නව වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වන සතුට පිරි නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. රාජ්‍ය සේවකයන්ගේ වගකීම පිළිබඳව අද ප්‍රතිඥාවක් දුන්නා. මේ ප්‍රතිඥාව  අපි වැඩකරන හැමදාමත් කරලා ඇති. අද ලබා දුන්න ප්‍රතිඥාවට අර්ථයක් එක් කරලා වැඩි දියුණු කරන්න ඕනෑ. අපේ මුඛ්‍ය පරමාර්ථය තමයි, මහජන සේවය, මහජන ඇල්ම වෙනුවෙන් අපේ කැප කිරීම. හැබැයි ඒ වැඩේ කරන විට අපට ඊට අදාළ පහසුකම් අවශ්‍ය වෙනවා.

ගොඩක් තැන්වලදී අපිට ගෞරවාන්විත රාජ්‍ය සේවයක් ගොඩනඟා ගැනීමට බැරි වෙලා තියෙන්නේ ඉතිහාසයේ යම් යම් අඩුපාඩු ගණනාවක් තිබූ නිසයි. දේශපාලන ක්ෂේත්‍රයේ  ගැටලු තිබිලා තියෙනවා. ඒ ගෞරවාන්විත සේවය ලබාදීමට අවශ්‍ය පහසුකම් ටික නැහැ. ඒ සේවය ලබාදෙනකොට අපිටත් අවශ්‍ය කරන ප්‍රතිලාභ ලබාගැනීමට ක්‍රමවේදයක් සකස් වෙන්න ඕනේ. එවිටයි ගෞරවාන්විත රාජ්‍ය සේවයක් බවට මෙය පත්වෙන්නේ.

අපි පත් වෙලා අවුරුද්දක වගේ  කාලයක් ගත වී තියෙනවා. රාජ්‍ය සේවය සම්බන්ධයෙන් සමාජයේ  කලු පැල්ලමක් තිබුණ. රාජ්‍ය සේවය වැඩ කරන්නේ නැහැ.  විවිධාකාර චෝදනා එල්ල වී ති‍යෙනවා. නමුත් දැන් මේ වෙනකොට සමාජයේ හොඳ ප්‍රතිචාරයක් ලැබෙමින් තියෙනවා.

අපේ ආණ්ඩුව ගත්තාමත් ආණ්ඩුව බලය ලබාගැනීමට පෙර දේශපාලන ව්‍යාපාරයක් ලෙස ඕනෑම අභියෝගයකට මුහුණ දීම සඳහා විවිධාකාර වැඩ කරමින් ඉදිරියට ආවේ. අද අපිට පුළුවන් වෙලා තියෙනවා, බලය අත්පත් කරගනිමින් එය මහජනතාවගේ සුඛවිහරණය සඳහා යෙදවීම සඳහා. පසුගිය වර්ෂයේදී අපි සෑම ක්ෂේත්‍රයකම රාජ්‍ය මූල්‍ය විනය, ආර්ථික වර්ධනය ඒ සියලු පද්ධතිවල දී විවිධ ආකාරයේ පදනම් විරහිත චෝදනා ඉදිරිපත් කළත් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් අපව ඉතාම ඉහළ ඇගයීමකට ලක් කරනවා. අපි පිළිබඳ මොන කතන්දර කිව්වත් අපි කරමින් ඉන්නේ මහජන සේවය වෙනුවෙන් විවිධ ආකාරයට කැපවෙන එක.

අපි කතා කරන දේශපාලන නායකත්වය ඉතාමත් වැදගත්. අපි මහජනතාව වෙනුවෙන් පෙනී ඉන්නවාද නැද්ද කියන කාරණේ බොහෝවිට පෙනෙන්නේ අභියෝග එනකොටයි. අභියෝග තමයි අපිව පරීක්ෂා කරන හොඳම ලිට්මස් පරීක්ෂාව. අපේ ආණ්ඩු කරණය ඇතුළේ ඕනෑම අභියෝගයකට නිවැරදි නායකත්වය දෙනවා. විශේෂයෙන් මේ දිට්වා කුණාටුව අවස්ථාවේදී අපි මුදල් වියදම් කරන්න මැදිහත් වෙන හැටි. අපි පරිපූරක ඇස්තමේන්තුව, අපි අරමුදලක් පිහිට වන්න යනවා කිව්වාම මේ ඇමතිලාට හිරේ යන්න වෙනවා. ආණ්ඩුව වැටෙනවා. නමුත් ජනාධිපතිතුමා මේ සඳහා නිවැරදි නායකත්වය දෙනවා. ඔබ අප කෙරෙහි විශ්වාසය ගොඩනඟා ගන්න.”

Facebook
Twitter
LinkedIn