වසර 2025 නත්තල් උදාව අප වෙත පැමිණෙන්නේ, ශ්‍රී ලංකාවට දැඩි ලෙස බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් පසු අප ජාතිය මුහුණ දුන් වේදනාකාරී අත්දැකීම් මතකයේ තබාගෙනය. එම සුළි කුණාටුව හේතුවෙන් අපේම රටේ අපේම මිනිසුන්ගේ ජීවිත, දේපළ, ජීවනෝපාය සහ බලාපොරොත්තු ආදී බොහෝ දේ අපට අහිමි විය.
ඒ සියල්ලට වඩා අපගේ හදවතේ රැඳී ඇත්තේ, තමන්ගේ සෑම දෙයක්ම අහිමි කරගත් ජනතාවගේ කඳුළු සහ වේදනාව යි. දෙවියන් වහන්සේගේ පුත්‍රයා වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරමින් අති උත්කර්ෂයෙන් සමරනු ලබන නත්තල යනු විනාශය අතරින් බලාපොරොත්තුව උපදින සමයක් ලෙස හැඳින්විය හැකිය.
නපුර පලවා හැර යහපත රජ කරවන යුගයක උදාවයි. අඳුරුතම රාත්‍රීන් තුළ පවා ආලෝකයක් උපදී. ඒ බලාපොරොත්තුවේ ආලෝකයයි. දිට්වා සුළි කුණාටුවෙන් පසු අප අත්විඳි, අප දුටු ජාති, ආගම්, භාෂා භේදවලින් තොරව ඉහළ එසවී රොද බැඳුණු දෑතින් යුත් ශ්‍රී ලාංකිකයන්ගේ එකමුතුකම, අන්‍යෝන්‍ය සහයෝගය සහ මානුෂීය හදවත ඔස්සේ අප රටක් ලෙස නැවත වරක් නැඟීසිටිය යුතුය. ඒ එකමුතුකම අපේ ශක්තිය බවට පරිවර්තනය කරගත යුතුය.
මේ අවස්ථාවේ අපට අවශ්‍ය වන්නේ බිඳවැටීම් මත පදනම් වූ දේශපාලනය නොව, ජනතාවගේ වේදනාවට පිළිතුරු දෙන, රටේ අනාගතය ගොඩනඟන, සාධාරණ සහ දයාවෙන් පිරි රටක් ගොඩනැඟීමයි. ඉදිරියේදී අපට රටක් ලෙස විශාල අභියෝග රැසකට මුහුණ දීමට සිදු වේ. එබැවින් මේ විනාශයෙන් පාඩම් ඉගෙන ගෙන, අසරණයන් ආරක්ෂා කරන, ආපදා හමුවේ ජනතාව තනි නොකරන රාජ්‍යයක් බිහි කිරීම අප සැමගේ සාමූහික වගකීම යි.
වසර 2025 නත්තල අපට සිහිපත් කරවන්නේ, අහිමි වූ දෑ පමණක් නොව, අප තුළ ඇති අහිමි නොවූ දේ එනම්, එකිනෙකාට දයාව දැක්වීම, එකට සිටීම සහ හෙට දිනක් පිළිබඳ බලාපොරොත්තුවේ විශ්වාසය යි. ඒ විශ්වාසය සමඟ, ශ්‍රී ලංකාව නැවතත් ශක්තිමත්, සාධාරණ සහ මානුෂීය ජාතියක් ලෙස නැඟී සිටිය හැකි බව මම දැඩිව විශ්වාස කරමි.
එබැවින් මෙවර නත්තල සකල ලෝකවාසී ශ්‍රී ලංකාවාසී කිතුනු බැතිමතුන්ටත් සමස්ත පුරවැසි පරපුරටත් සාමය, සෞභාග්‍ය, සංහිඳියාව, එකමුතුකම සහ නව බලාපොරොත්තුවෙන් පිරි නත්තලක් වේවායි ප්‍රාර්ථනා කරමි.
ඔබ සැමට සුබ නත්තලක්!










