මෙරට ඉතිහාසයේ 37 වන පොලිස්පතිවරයා ලෙස පත් වී සිටින ප්‍රියන්ත වීරසූරිය සම්බන්ධයෙන් විවිධ සමාජ ක්‍රියාකාරියන්ගේ, වෘත්තිකයන්ගේ මෙන් ම පොදු ජනතාවගේ ද විශේෂ අවධානයක් යොමු වී තිබේ.
සමාජ මාධ්‍ය ඔස්සේ එම පත්වීම සම්බන්ධයෙන් බොහෝ ප්‍රතිචාර පළ වෙමින් තිබෙන අතර, නීතිඥ අරවින්ද හබක්කල තබා තිබූ සටහන පහතින් පළ කෙරේ.
1992 වසරේ අපි කැම්පස් එන්නෙ මහත් වූ බලාපොරොත්තු ගොන්නක් පොදි බැඳගෙන. එහෙම ආවට පස්සෙ රටේ එක එක පලාත් වලින් විවිධ සමාජ තරාතිරම් වල යාලුවො හම්බෙනවා. ලෝ ෆැකල්ටි එක කාගෙත් ටාගට් එක ලෝයර් කෙනෙක් වීම. ඒ අතර එක්තරා යාලුවෙක් සෙට් වෙනවා. ඔහු පොලිස්කාරයෙක්. ඒ වෙනකොට ඔහු උප පොලිස් පරීක්ශකවරයෙක්. අපි හිතුවෙ උපාධිය අරන් ඔහු යුනිෆෝම් එක ගලවල කබාය අඳීවි කියලා.
SI කෙනෙක් විදියට අපිට හම්බුනාට ඔහු ඇත්තටම පොලිසියට බැඳිල තිබ්බෙ රාළහාමි කෙනෙක් විදියට. සේවයේ ඉන්න ගමන් ඔහු උසස් පෙල ලිවීම නිසා උප පොලිස් පරීක්ශක විදියට උසස් වීමක් ලබාගෙන ඊට පස්සෙ කැම්පස් එකේ ලෝ ෆැකල්ටියත් තේරිලා.
ඔහු LL.B. උපාධිය ලබා ගත්තට පස්සෙ ASP කෙනෙක් වෙනවා. එතනින් එහාටත් ඔහු උසස් අධ්‍යාපනය හදාරනවා. විනයගරුක පොලිස්කාරයෙක් වෙනවා. කැම්පස් එකේ හැමෝම ඔහුට කිව්වෙ පොලිස්කාරයා. සමීපම අය කිව්වෙ “පොලිසා.” පොලිස් ගතියක් නැති පොලිසා. මිනිහෙක් යම් ආයතනයක පහලම නිළධාරියෙක් විදියට සේවයට බැඳිලා එහි ඉහලම පුටුව දක්වා ගමන් කරනව කියන්නෙ අහම්බයක් නෙමෙයි. ඒක මහත් වූ කැපකිරීම් රාශිකය හා අධිශ්ඨාන වැලක ඔටුනු පැළදීමක්.
ප්‍රියන්ත වීරසූරිය නමැති සිසුවා පාසැල් අධ්‍යාපනය ආරම්භ කරන්න කලුතර ඩොටේ හද්ද දුශ්කර නෑහින්න කනිශ්ඨ විද්‍යාලයෙන්. ඔහු ඉතාම ආඩම්බර විදියට අදටත් ඔහු ගැන කියන්නෙ.
“Im a Naahinniyan” කියලා.
මම දෙවෙනි පාරටත් මේ කතාව ලියන්නෙ මේ රටේ දෙමවුපියන්ට, දරුවන්ට පාඩමක් උගන්වන්න. ඔව් පාඩමක් උගන්වන්න.
අධ්‍යාපනය කියන්නෙ අත්තටු. අත්තටු තියෙනව නම් ඕනම ඉහල තාප්පයක් තරණය කරන්න හරිම ලේසියි. ඕනම පොඩි මිනිහෙකුට සැබෑ ලොක්කෙක් වෙන්න ලේසියි. ඕනෑම ප්‍රාදේශීයවාදයක් සුන්නද්දූලි කරන්න ඇහැකියි. ඔබ ජීවිතය පටන් ගන්නා තැන අදාල නැත. එහෙත් අවසන් කරන තැන තීරණය කරන්නේ ඔබ ම ය. කුමන බාධක මැද වුවද දරුවන්ට උගන්වන්න. දරුවනි කුමන අගහිඟම් මැද වුවද ඉගෙනීම අත නොහරින්න. ඉගෙනීමෙන් ඔබට ලැබෙන පන්නරය හා ලැඩරය කිසිවෙකුට කිසිදින උදුරාගත නොහැක. එය මරණය තෙක් ඔබේ පසුපස සෙවනැල්ලකටත් වඩා ප්‍රභලව ඝන අන්ධකාර කාලයේදීද ඔබව ආරක්ශා කරනු ඇත. ගුරුභවතුනි, පුලුවන් නම් ඔබේ පාසලට වත්මන් පොලිස්පතිතුමා ගෙන්වා ඔහු ඉගෙනගත් හැටි දරුවන්ට කියවන්න. ඔහු හීන දුටුව හැටි අසා දැනගන්න.
හිතාදර ප්‍රියන්ත,
කොපමණ වැඩ තිබ්බත් ඔබ ආ ගමන්මග ගැන පොතක් ලියන්න. ඔබේ පුරාජේරුව ලියා තබන්න. ඒවා මේ රටේ සුවහසක් දුප්පත් දරුවො අහන්නම ඕන කතා.
පොලිස්පතිතුමනි,
මතක ඇතුව තව දෙයක් ලියන්න. අතට පයට වැඩකාරයින් ගන්න පුලුවන්කම තියෙද්දිත් DIG කාලෙත් තමන්ගෙ දෑතින් අම්මාව වඩාගෙන සාත්තු කල හැටි, කවපු හැටි. ඒවාත් ලියන්න. ඒවා මේ රටේ සුවහසක් සල්ලිකාර පුත්තු අහන්නම ඕන කතා. ප්‍රියන්ත වීරසූරිය නමැති පොලිස් කොස්තාපල්වරයා තම රැකියාවෙන් සෑහීමට පත් වී අධ්‍යාපනය නැවතුවා නම් ඔහුගේ රාජකාරී දිවිය අවසන් කරන අන්දම හා ඔහු තම අධ්‍යාපන නොනැවතීම නිසා පැමිණ තිබෙන ගමන දිහා හිතා බලන්න.
දරුවනි,
කවුරු කෙසේ තර්ක කලත් ජීවිතය ජය ගැනීමට ඉගෙනීම අත්‍යාවශ්‍ය බව සිහි තබා ගන්න. බරපතල විවේචන ඇති පොලිස් දෙපාර්තමේන්තුව ඔසවා තැබීමට නව පොලිස්පතිතුමාට හැකියාව ලැබේවා.
අදත් හෙටත් පොලිසියෙන් බැට කන මිනිසුන් ගැන ලියන්නට,
පොලිසිය, ජනයාගේ ආරක්ෂාව ගැන වග නොවන විට ලියන්නට,
පොලිසිය රජය වෙනුවෙන් නොව ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින විට ලියන්නට,
අපේ අකුරු වෙනදා මෙන්ම සවිමත් ව ලියන්නට,
මේ සටහන බාධාවක් නොවන බව අවසන් වශයෙන් ලියා තබමි.
පොලිසි කොස්තාපල් මහත්මයෙක්, පොලිස්පතිවරයෙක් කල ඒ විචිත්‍ර වූ නිදහස් අධ්‍යාපනයද, ඒ වෙනුවෙන් දිවි දුන් සියල්ලන් හා නිර්මාණකරුවන්ද, මේ රටේ බදු ගෙවන අහිංසක ජනතාවද මහත් වූ ආදරයෙක් වැළඳ ගමි.
පොලිස්පතිතුමනි ඔබට ජය!
නීතීඥ අරවින්ද හබක්කල.
(LlL.B. LL.M.)
(නිදහස් අධ්‍යාපනය)










