චීන සමාගමකින් ආනයනය කළ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවකට මුදල් ගෙවීමේ නිර්දේශ ලබාදෙමින් රජයට පාඩු කිරීමේ චෝදනා මත කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම්වරයෙකු වූ වත්මන් ඌව පළාත් සභාවේ ප්‍රධාන ලේකම් මහේෂ් ගම්මන්පිල ලබන 05 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී අද (28) නියෝග කර තිබේ.
ඒ 2021 වසරේදී රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කරමින් චීනයේ Qingdao Seawin Biotech නම් සමාගමෙන් මෙම පොහොර තොගය ගෙන්වීම සම්බන්ධයෙන්.
අදාළ සමාගමෙන් මෙරටට ගෙන්වන ලද ප්‍රමිතියට අනුකූල නොවන කාබනික පොහොර තොගයකට අදාළව අත්හිටුවා තිබූ ණයවර ලිපි විවෘත කිරීමට උපදෙස් ලබා දීම මගින් ඊට අදාළ පළමු පොහොර තොගයෙන් 75%ක මුදලක් එනම් අමෙරිකානු ඩොලර් මිලියන 6.9කට ආසන්න මුදලක් ගෙවීමට සිදුවීමෙන් රජයට පාඩු සිදු කිරීම යන චෝදනා මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අදාළ අතිරේක ලේකම්ව අද අත්අඩංගුවට ගෙන තිබිණි.
එහිදී කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත් විසින් සැකකරු එළැඹෙන මැයි මස 05 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.










