එක්සත් ජනපද නව තීරු බදු ක්‍රමය පිළිබඳ ගැටලුව විසඳා ගැනීමට අදාළ සාකච්ඡා මේ වනවිට ඉතා ප්‍රතිඵලදායක බව එහි ගොස් සිටින ශ්‍රී ලංකා නියෝජිත පිරිස තමන් වෙත දැනුම් දුන් බවත්, ඒ අනුව දෙපාර්ශ්වයම එක්ව මේ පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ “ජය නියතයි ගම අපිටයි” ජන රැලි මාලාවේ තවත් ජන රැලියකට පසුගිය 23 දා රත්නපුරයේදී එක් වෙමිනි.
2025 වසර වැඩිම අපනයන ආදායමක් උපයා ගන්නා වසර බවට පත් කර ගැනීම රජයේ අපේක්ෂාව බවත් එහිදී මැණික් කර්මාන්තයේ ප්‍රවර්ධනය පිළිබඳ විශේෂ අවධානයක් යොමුව තිබෙන බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය. මැණික් පිටරටින් ගෙන්වීමේදී මැණික්වල වටිනාකම මත බදු අය කරන ක්‍රමවේදය වෙනුවට සාධාරණ මිලක් නියම කිරීම පිළිබඳ මේ වන විට මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කරමින් තිබෙන බවද සඳහන් කළ ජනාධිපතිවරයා ඉතා ඉක්මනින් ඒ සඳහා විසඳුමක් ලබා ගත හැකි වනු ඇතැ‘යි අපේක්ෂාව පළ කළේය.
ජන රැලිය ඇමතූ ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් මෙසේද පැවසීය,
“මැයි 06 වන දා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී කිසිදු සැකයකින් තොරව මෙම රත්නපුර දිස්ත්‍රික්කයේ තිබෙන පළාත් පාලන ආයතන සියල්ල අපි ජයග්‍රහණය කරනවා. පසුගිය සැප්තැම්බර් 21 වන දා මේ රටේ ජනතාව පැරණි, විනාශකාරී දේශපාලන ගමන පරාජයට පත් කර අලුත් දේශපාලන ගමනකට අපේ රට අවතීර්ණ කරනු ලැබුවා. ඉන්පසුව, නොවැම්බර් 14 වන දා පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී විශාල ජයග්‍රහණයක් ඔබ අපට ලබා දුන්නා. මෙය ලංකා දේශපාලන ඉතිහාසයේ විශාලතම පෙරළිය බව සඳහන් කළ යුතුයි. 2019 මැතිවරණයේදී 3%ක තිබූ දේශපාලන ව්‍යාපාරයක් ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන වැඩිම මන්ත්‍රීවරු සංඛ්‍යාව සහිත පාර්ලිමේන්තුවක් සහ ආණ්ඩුවක් හදන තැනට මේ රටේ ජනතාව විශ්වාස කළා. ඒ වගේම 2019දී ලක්ෂ 69ක් ලබා ගත් දේශපාලන ව්‍යාපාරය 2.5%ට පහතට ඇද දැමුවා.
මෙය සාමාන්‍ය තත්ත්වයක් නොවෙයි. දීර්ඝ කාලයක් පුරා ආණ්ඩු හදපු සහ ආණ්ඩු කරපු එක්සත් ජාතික පක්ෂයට ඡන්ද පත්‍රිකාවේ ලකුණක් නැති තරමට පහතට වැටුණා. අපේ රටේ ජනතාව විශාලතම දේශපාලන තීන්දුවක් සහ හැරවුමක් ගනු ලැබුවා.
ඊට හේතු කිහිපයක් තිබුණා. අපේ දරුවන්ට හොද රටක් නිර්මාණය කිරීමේ අපේක්ෂාවෙන් දීර්ඝ කාලයක් මේ රටේ ජනතාව ආණ්ඩු හැදුවා. යහපත් අපේක්ෂාවලින් යුතුව අවුරුදු 76ක් පුරා ආණ්ඩු හැදුවා. ආණ්ඩු පෙරළුවා. නායකයෝ ගෙනාවා. නායකයෝ වෙනස් කළා. එහෙත් අවසන් ප්‍රතිඵලය වූයේ ජනතා අපේක්ෂා මුළුමනින්ම බිඳ දැමූ පාලනයන් ගොඩනැඟීමයි. ජනතාව මෙම විෂම චක්‍රයෙන් හෙම්බත් වී සිටියා.
අනතුරුව සාතිශය බහුතර ජනතාව මේ රට නව මාවතකට යොමු කළ යුතුයි යන අදිටනින් යුතුව ජාතික ජන බලවේගය කෙරෙහි විශ්වාස තැබුවා. අපට ඡන්දය ලබා දෙමින් ජනතාව අපේකෂා කළේ කුමක්ද? අපේ රටේ බිඳ වැටි තිබෙන ආර්ථිකය ගොඩනැංවීම සඳහා වූ අපේක්ෂාවෙන් ජනතාව අපිට ඡන්දය දුන්නා. ඒ වගේම අපේ රටේ නීතියේ විධානය කාටත් සාධාරණ විය යුතුයි යන බලාපොරොත්තුවෙන් ඡන්දය දුන්නා. වංචා දූෂණ නතර කිරීම වගේම වංචා දූෂණවල යෙදුණු අයට දඬුවම් දීම සඳහා අපට ඡන්දය ලබා දුන්නා. ඒ වගේම ලෝකයේ කළු රටක් බවට පත්ව තිබූ අපේ රට ලෝකයේ බැබලෙන රටක් බවට පත් කිරීම ජනතාවගේ අපේක්ෂාවක් වුණා.
මේ අයුරින් අප කෙරෙහි විශාල බලපොරොත්තුවක් තබමින් මෙකී අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන් ඔබ අපට ඡන්දය ලබා දුන්නා. අපි දිනපතා ජනතාව අපට ඡන්දය දුන්නේ ඇයි, ඔවුන්ගේ අපේක්ෂාව කුමක්ද යන්න නිරන්තරයෙන් සිහිපත් කරමින් පාලනය ගෙන යනවා. අපේක්ෂා පොදි බැඳගෙන අප වෙත ඡන්දය ලබා දුන් ජනතාවගේ අරමුණු සහ අපේක්ෂා නියත වශයෙන්ම ඉටු කරන බවට අපි ඔබට සහතික වෙනවා.
අපිට මේ රටේ වැටී තිබු ආර්ථිකය ගොඩනැගීමට අවශ්‍ය වුණා. මීට වසර දෙකකට, තුනකට පෙර ආර්ථිකයේ විශාල අස්ථාවරත්වයක් නිර්මාණය වී තිබුණා. සැලකිය යුතු ප්‍රමාණයකින් රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමට ඉතා කෙටි කාලයක් තුළ අපි සමත් වී තිබෙනවා. රටක ආර්ථිකයක් නිරන්තරයෙන් අවදානම් නම්, අස්ථාවර නම්, බැංකු ක්ෂේත්රය, මුල්‍ය පද්ධතිය කෙරෙහි විශ්වාසයක් බිඳ වැටිලා නම්, ව්‍යාපාර, කර්මාන්තකරුවන්, ආයෝජකයන් තුළ ආර්ථිකය කෙරෙහි විශ්වාසය බිඳ වැටි ඇත්නම් රටක ආර්ථිකයක් ඉදිරියට ගෙන යන්න බැහැ. ඒ නිසා අපේ පළමු අභියෝගය වූයේ රටේ ආර්ථිකය ස්ථාවරභාවයක් ඇති කර ගැනීමයි. අපි අද ඒ සඳහා සමත් වී තිබෙනවා. එහි සලකුණු අද මේ රටේ ජනතාවට පේන්න තිබෙනවා. රට ගොඩනැගීමේ පළමු පියවර ලෙස ශක්තිමත් රාජ්‍ය සේවයක් රට තුළ ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙළ අප මේ වන විට ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ වගේම අපේ රට ගොඩනැගිය හැකි ක්ෂේත්‍ර තෝරාගෙන එම ක්ෂේත්‍ර සඳහා අපි සංවර්ධන සැලසුම් සකස් කර තිබෙනවා. සංචාරක කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කර තිබෙන අතර මෙම 2025 වසර මෙරටට වැඩිම සංචාරකයන් පැමිණෙන වසර බවට පත් වෙනවා.
ආරුගම්බේ, යාල, ඇල්ල වැනි අපේ සංචාරක ස්ථාන අද විශාල පිරිසකගෙන් පිරී ඉතිරි ගොස් තිබෙනවා. යාල වනෝද්‍යානයට ඇතුළු වීමට පැය දෙකකට වැඩිය යනවා නම් සංචාරකයෝ නැවත පැමිණෙන්නේ නැහැ. ඒ නිසා අපි නව සංචාරක ගමනාන්ත ඇති කළ යුතුයි. යාපහුව, අනුරාධපුර, යාපනය, ත්‍රීකුණාමලය නව සංචාරක ගමනාන්ත බවට පත් කිරීම සඳහා ඉතා ඉහළ විභවතාවක් තිබෙනවා. අනුරාධපුරය අපේ පැරණිතම නගරයයි. අපේ පළමු ජනපද, අපේ පළමු වැව් එහෙත් සංචාරක කර්මාන්තය ආකර්ෂණය කර ගැනීමට නොහැකි වී තිබෙනවා. ඒ නිසා පැරණි රාජධානිය ඉස්මතු වන ආකාරයෙන් අනුරාධපුර නගරය අපි නැවත ගොඩනඟනවා. ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා මෙරටට පැමිණි අවස්ථාවේ ඒ සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ආධාරයක් ලෙස ලබා දීමට එකඟතාව පළ කළා.
ඒ වගේම, ඒ ඒ පළාත්වලට ආවේණික සංස්කෘතින් සමඟ අපි යාපනය, ත්‍රිකුණාමලය, ගාල්ල නැවත ගොඩනඟනවා. සංචාරක කර්මාන්තයේ මෙම නව පිම්ම ඉතා ඉක්මනින් අපේ ආර්ථික වර්ධනයට දායක කරගත හැකියි. අපි ඒ සඳහා සැලසුම් සකස් කර තිබෙනවා.
ඒ වගේම, අපේ අපනයන ආදායම ඉහළ නංවා ගැනීම වෙනුවෙන් අපි සැලසුම් සකස් කර තිබෙනවා. අපි පිටරටට භාණ්ඩ හා සේවා සැපයීම මඟින් උපයා ගන්නා ඩොලර් ප්‍රමාණය ඉහළ නංවා ගත යුතුයි. අපේ අපේක්ෂාව ලංකාවේ වැඩිම අපනයන ආදායම උපයා ගත් වසර බවට 2025 වසර පත් කිරීමයි.
එක්සත් ජනපද බදු ගැටලුව විසඳා ගැනීම සඳහා අප මේ වන විට උත්සාහ කරමින් සිටිනවා. අපේ මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු නියෝජිත කණ්ඩායම එක්සත් ජනපදයට ගොස් ඊයේ දිනයේදී සාකච්ඡා පැවැත්වූවා. එම සාකච්ඡා ඉතා ප්‍රතිඵලදායක බව මට දැනුම් දී තිබෙනවා. ඒ නිසා දෙපාර්ශ්වය එක්ව යම් ඒකාබද්ධ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබෙනවා. කවර හෝ රටක ගනු ලබන ආර්ථික තීන්දු අපේ රටේ ආර්ථිකය මුළුමනින්ම බංකොලොත්වීමට හේතු වෙනවා නම්, කලාපයේ කොතැනක හෝ පටන් ගන්නා යුද්ධයක්, වසංගත තත්ත්වයක් අපේ රටේ ආර්ථිකය මුළුමනින්ම බිඳ දමනවා නම් එයින් පෙනී යන්නේ අපට ස්වාධිපත්‍ය සහිත ආර්ථිකයක් නොමැති බවයි. හානි වීම වැළැක්විය නොහැකි නමුත් බිඳ වැටීම වැළැක්විය හැකියි. ඒ අනුව, කවර රාජ්‍යයක්, කවර ආකාරයෙන් තමන් ගැන කල්පනා කර තීන්දු ගත්තද නොසැලෙන ආර්ථිකයක් ගොඩනැඟීම ඉලක්ක කරගෙන අපි මේ ආර්ථිකය ගොඩනඟමින් සිටිනවා.
මම පසුගියදා මැණික් ප්‍රදර්ශනයට සහභාගී වූ අවස්ථාවේ මැණික් කර්මාන්තයට අදාළ බදු පිළිබඳ යෝජනා ඉදිරිපත් වුණා. විශේෂයෙන් මැණික් පිටරටින් ගෙන එන විට එම මැණික්වල වටිනාකම බලා බදු අය කරන ක්‍රමවේදයක් තිබෙනවා. එයින්, කර්මාන්ත අධෛර්ය කර වන බවට කරුණු වාර්තා වෙනවා.
ඒ නිසා යම් සාධාරණ මිලක් නියම කිරීම පිළිබඳව මුදල් අමාත්‍යාංශය සමග අපි පසුගිය දා සාකච්ඡා කළා. අපට එය ඉතා ඉක්මනින් කළ හැකි වනු ඇතැ’යි අපි විශ්වාස කරනවා. අපේ අපනයන ආදායම වර්ධනය කර ගැනීම වෙනුවෙන් අපි කටයුතු කළ යුතුයි.
ඒ වගේම කෘෂිකර්මාන්ත ක්ෂේත්රය තුළ අපට විශාල විභවතාවක් තිබෙනවා. අපි රුපියල් 15,000ක්ව තිබූ පොහොර සහානාධාරය 25,000 දක්වා ඉහළ දැමුවා. කුඹුරුවල වගා කරන අතුරු බෝගවලටටත් අපි යල කන්නයේ සිට පොහොර සහනාධාරය ලබා දෙනවා.
ඒ වගේම බීජ පර්යේෂණ ආයතන ගොඩනඟමින් බීජ සාධාරණ මිලට ලබා දීමේ වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙනවා. වල් නාශක සහ කෘමිනාශක අධික මිලට විකිණීමේ මාෆියාවක් ක්‍රියාත්මක වෙනවා. අපි සිපෙට්කෝ ආයතනය සමඟ සාකච්ඡා කර දැනටමත් කෘමිනාශක සහ වල්නාශක ආනයනය කර තිබෙනවා. තවත් ප්‍රමාණයක් ආනයනය කර අවම වශයෙන් මෙම වෙළෙඳපොළ තත්ත්වය අඩකින්වත් අඩු කිරීමට අපි සැලසුම් සකස් කර තිබෙනවා.
අපේ රටේ ජනතාව නීතියක් සහිත රටක් සහ නීතියට යටත් වන රටක් අපේක්ෂා කළා නම් එම රට ජාතික ජන බලවේගය ආණ්ඩුව විසින් මේ වන විට ගොඩනඟමින් තිබෙනවා. අපි ජනතාවට ලබා දුන් කිසිදු එකඟතාවක් බිඳ දමා නැහැ. අපි ඒවා ඒ අයුරින්ම ඉටු කරනවා.
මෙම පළාත් පාලන ආයතන මගින් විශාල කාර්යභාරයක් ඉටු කරනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ ඩෙංගු ව්‍යසනයට මුහුණ දී තිබෙනවා. රත්නපුර රෝහලේ මේ වන විටත් ඩෙංගු රෝගීන් විශාල පිරිසක් සිටිනවා. මෙම පරිසර පද්ධතිය පිරිසිදු කර පවත්වාගෙන යාම පළාත් සභාවේ සහ නගර සභාවේ වගකීමක්. ගමේ පාරවල් ටික හදන එක ප්‍රාදේශීය සභාවේ වගකීමක්. ගමේ සංවර්ධනය නගර සභාවේ සහ ප්‍රාදේශීය සභාවේ වගකීමක්. මේ අනුව ජනතාවගේ ජන ජීවිතය හා ගැටගැහුණු මෙම වගකීම් ඉටු කිරීමට අපට ශක්තිමත් සහ හොරකමින්, වංචාවෙන් හා දුෂණයෙන් තොර නගර සභාවක් සහ ප්‍රාදේශීය සභාවක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් මෙම මැයි 06 වන දා ජනතාව තම යුතුකම ඉටු කරනු ඇතැ’යි අපි විශ්වාස කරනවා.”














