අත්අඩංගුවට ගත් පිල්ලෙයාන්ගෙන්, උපකුලපති සිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් අතුරුදන් කළ සිද්ධිය ගැන ප්‍රශ්න කරයි…

අත්අඩංගුවට ගත් පිල්ලෙයාන්ගෙන්, උපකුලපති සිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් අතුරුදන් කළ සිද්ධිය ගැන ප්‍රශ්න කරයි…

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයකු වූ මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගිය 08 වනදා මඩකලපුවේදී අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය ඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක රඳවා ගැනීමේ නියෝගයක් ලබාගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

විමර්ශන වාර්තා අනුව, එම මහාචාර්යවරයා පැහැරගෙන ගොස් තිබුණේ 2006 දෙසැම්බර් 15 වන දින කොළඹ 07 අධි ආරක්ෂක කලාපයක පිහිටි විද්‍යා මන්දිරයේ පැවති උත්සවයකට සහභාගී වී සිටියදී ය. ඔහු පිල්ලෙයාන්ගේ දේශපාලන විරුද්ධවාදියෙකු ලෙස සැලකුණ අතර ඔහු අතුරුදන්වීම සිදු වූ වකවානුවේ මරණ තර්ජන ලැබී තිබුණි.

කෙසේ වෙතත් පිල්ලෙයාන් එවක රාජපක්ෂ රජය සමග සම්බන්ධවී කොටි සංවිධානයට විරුද්ධව ඔත්තු සපයමින් රජයේ හිත දිනාගෙන සිටි අතර ඔහුට එරෙහි බොහෝ නීතිමය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක නොවුණු අතර එ් අනුව මෙම සිදුවීමට අදාළව පිල්ලෙයාන් අත් අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ වසර 18කට පසුවය.

ඔහුව පැහැරගැනීමකට ලක් කළ බවට සාක්ෂි ලැබී තිබිණි. වාර්තාවලට අනුව, ඔහු පිල්ලයන් එවකට නායකත්වය දුන් දෙමළ මහජන විමුක්ති පුලිකල් (TMVP) වැනි අර්ධ මිලිටරි සංවිධානවලට සම්බන්ධ සන්නද්ධ කණ්ඩායම්වලින් තර්ජන මත සිටි අයෙකි. යුද්ධය අවසන් නොවූ මෙම කාලයේ කොටි සංවිධානයට විරුද්ධව මෙම කණ්ඩායම් ආරක්ෂක හමුදාවල නිහඬ සහයෝගය ඇතිව ක්‍රියාත්මක වූ බවට චෝදනා තිබිණි.

මෙම අතුරුදහන් වීමට පෙර, TMVP සමඟ සමීපව සම්බන්ධ කරුණා කණ්ඩායමේ සාමාජිකයින් බවට සැක කරන පිරිසක් විසින් නැගෙනහිර විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ පීඨාධිපති ආචාර්ය කේ. බාලසුකුමාර් පැහැරගෙන යාමෙන් පසු, මහාචාර්ය රවීන්ද්‍රනාත්ටද තර්ජන එල්ල වී තිබිණි.

මහාචාර්ය රවීන්ද්‍රනාත්ගේ අතුරුදහන් වීමට පිල්ලයන්ගේ සෘජු සම්බන්ධතාවය තහවුරු කර නොතිබුණද, එම කාලපරිච්ඡේදයේදී TMVPහි ඔහුගේ නායකත්ව භූමිකාව හේතුවෙන් මෙම සිද්ධියට ඔහුගේ විය හැකි සම්බන්ධතාවය පිළිබඳව ප්‍රශ්න මතු වේ. තවත් අර්ධ මිලිටරි නායකයෙකු වන විනයගමූර්ති මුරලිදරන් (කරුණා අම්මාන්) ද මෙම නඩුව සම්බන්ධයෙන් CID විසින් මින් ඉහත ප්‍රශ්න කර ඇත.

නමුත් රාජපක්ෂ හිතවාදීන් වූ මේ අයට එරෙහිව නීතිය ඉන් එහා ක්‍රියාත්මක නොවිණි.

මඩකලපුවේදී අත් අඩංගුවට ගෙන කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයට රැගෙන ආ පිල්ලෙයාන්ව මුලින් පැය 72ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදු කර තිබේ.

දැන් ලැබී ඇති දින 90ක රඳවා ගැනීමේ නියෝගය මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැඩිදුර විමර්ශන සිදු කිරීමට හැකියාව ලැබෙනු ඇත. මෙම කාලය තුළ සිදු කෙරෙන ප්‍රශ්න කිරීම් හරහා මහාචාර්ය රවීන්ද්‍රනාත් මහතාගේ පැහැරගෙන යාම සම්බන්ධ වැදගත් තොරතුරු අනාවරණය වීමට ඉඩ ඇති බව විමර්ශන නිලධාරීන් අපේක්ෂා කරන බව වාර්තා වේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරෙමින් පවතී.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්