සියලු ආයතන ඒකාබද්ධව ඉතිහාසයේ ප්‍රථම වරට කෘෂිකාර්මික හා පශු සම්පත් අංශයේ ප්‍රගමනයට ජාතික සැලැස්මක්

සියලු ආයතන ඒකාබද්ධව ඉතිහාසයේ ප්‍රථම වරට කෘෂිකාර්මික හා පශු සම්පත් අංශයේ ප්‍රගමනයට ජාතික සැලැස්මක්

නව රජයේ කෘෂිකාර්මික හා පශු සම්පත් සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා වූ ජාතික වැඩපිළිවෙල මූලික කරගෙන ‘එක මිටට ගොවිබිමට’ වැඩසටහන කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමති කේ.ඩී ලාල්කාන්තගේ සහ නාමල් කරුණාරත්න හා සුසිල් රණසිංහ යන නියෝජ්‍ය ඇමතිවරුන්ගේ මඟ පෙන්වීම අනුව අමාත්‍යාංශ ලේකම් විසින් ක්‍රියාවට නංවනු ලබයි.

මෙම වැඩපිළිවෙල ඉතිහාසයේ ප්‍රථම වතාවට ජාතික අරමුණක් වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් මෙහෙයවීම සඳහා කෘෂිකාර්මික හා පශු ක්ෂේත්‍රයට අදාළ සියලුම ආයතන එක්ව ක්‍රියාත්මක කිරීම සුවිශේෂී සන්ධිස්ථානයක් වනු ඇත. මධ්‍යම ආණ්ඩුව සහ ඊට සම්බන්ධ සියලු ආයතන සේම පළාත් ආණ්ඩු හා ඊට අදාළ ආයතන සියල්ලේම දායකත්වය සහ සෘජු මැදිහත්වීම මෙම ජාතික කාර්තව්‍යය සඳහා ලබාදෙන අතර, මේ යටතේ ඉදිරි වසර සඳහා ආහාර බෝග සැලැස්ම ක්‍රියාත්මක කරනු ලබයි.

මෙම ජාතික වැඩසටහන මෙහෙයවීම සඳහා සාකච්ඡාවක් පසුගියදා අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි. ඊට සියලුම පළාත් ආණ්ඩුකාරවරුන්, පළාත් ලේකම්වරුන්, පළාත් කෘෂිකර්ම ලේකම්වරුන්, අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරුන්, අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවල ආයතන ප්‍රධානීන් සම්බන්ධ වී තිබේ.

මෙහිදී බෝග වගා නිෂ්පාදන සැලැස්ම සඳහා ප්‍රධාන බෝග 13ක් ඇතුළු එළවළු සහ පළතුරු නිෂ්පාදන ඉලක්කයන් පිළිබඳව මෙන්ම වගා වපසරිය සහ නව භූමි කෘෂිකර්මාන්තය සඳහා යොදා ගැනීමේ හැකියාව, ඵලදායිතාවය ඉහළ නැංවීමට අවශ්‍ය තාක්ෂණික පැකේජයන් පිළිබ ඳව සහ ගොවියාගේ ලාභය වැඩි කර ගැනීම මෙන්ම ගොවියාගේ ආදායම ස්ථාවර මට්ටමට ගෙන ඒම පිළිබඳව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී ඇත. මේ සඳහා පළාත් කෘෂිකර්ම අංශයේ දායකත්වය සහ මහවැලි අධිකාරිය දායකත්වය ලබා දෙන අතර මේ යටතේ යෝජිත නව වගා වපසරිය පුළුල් කිරීම පිළිබඳවද අවධානය යොමු කරමින් ජාතික නිෂ්පාදන සැලැස්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර ඇත.

මෙහිදී මුදල් කොමිෂන් සභාව වෙනුවෙන් මෙම වර්ෂයේ කාෂිකාර්මික සංවර්ධන කටයුතු සඳහා පළාත් සභා වෙනුවෙන් වෙන්කර ඇති මුදල් පිළිබඳව මෙන්ම, ඒවා මෙම ජාතික සංවර්ධන ඉලක්ක වෙනුවෙන් යොදා ගැනීම පිළිබඳවද රැස් වූ අනෙකුත් ආයතන දැනුම්වත් කර තිබේ.

මීට අමතරව කෘෂි නිෂ්පාදනවල නිෂ්පාදන වියදම පහළ දැමීම, සහනාධාර වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, බහු වාර්ෂික බෝග සඳහා ඉඩම් පරිහරණය කෘෂිකාර්මික දත්ත ලබා ගැනීම පිළිබඳවත් කිරි නිෂ්පාදනය සඳහා අවශ්‍ය තෘණ වගා කිරීම, වගා නොකරන ගොඩ සහ මඩ ඉඩම් නැවත වගා කිරීම, රජයේ ඉඩම් වගා කටයුතු සඳහා ලබා ගැනීමෙන් මෙන්ම රටේ ජාතික සැලැස්ම ක්‍රියාවට නැංවීමේදී පශු සම්පත් ක්ෂේත්‍රයේ සංවර්ධන සැලැස්ම පිළිබඳවත් ඒ සඳහා පශු වෛද්‍ය සේවාවේ දායකත්වය පුළුල් කිරීම පිළිබඳවත් වැඩිදුරටත් සාකච්ඡා කර ඇත.

මෙම වැඩසටහනේ විශේෂත්වය වන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට ජාතික සැලැස්මක් අනුව සියලුම මධ්‍යම හා පළාත් සභා ඇතුළු සියලු ආයතන ඒකාබද්ධව දියත් කරනු ලබන දීපව්‍යාප්ත ජාතික කර්තව්‍යයක් වීම බව එම අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්