මෑත ඉතිහාසයේ දරුණුම ස්වභාවික ව්‍යසනය සිදුවී අදට වසර විස්සයි! එය අපට මතක ඉතිහාසය තුළ සිදු වූ දරුණුම ස්වභාවික ව්‍යසනයයි.
1978 නොවැම්බර් අග භාගයේ නැගෙනහිර ප්‍රදේශය හරහා හමා ගිය අති මහත් විනාශකාරී සුළි කුණාටුවෙන් පසුව අවස්ථා කීපයකදීම දරුණු. ගංවතුර තත්ත්වයන් රට තුළ ඇති වුවත් උතුරු නැගෙනහිර, දකුණ සහ බස්නාහිර වෙරළ ආශ්රිත ප්‍රදේශ වල ජීවත් වූ 40,000 කට අධික ජනතාවකගේ ජීවිත බිළිගනිමින්, එවැනිම සංඛ්‍යාත පිරිසකට තුවාල සිදුකරමින් ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට තම තමන්ගේ උන් හිටි තැන් අහිමි කරමින් මුහුදු ජල කඳ රට තුළට ඇදී ආවේ අනුකම්පාවිරහිත ලෙසය.
ඇසින් දුටු අය පවසන ආකාරයට සමහර ප්‍රදේශවල මුහුදේ මතුපිට ජල මට්ටමේ සිට මීටර හැටකට වඩා උසට මහා රළ ඉහළට නැගී වෙරළට පතිත වූයේ අදහා ගත නොහැකි වේගයකිනි. සමහර ස්ථානවල රළ කඳ කිලෝමීටරයකට ආසන්න දුරක් පැමිණ තිබුණි.
2004 දෙසැම්බර් 26 වන දින උදෑසන 8.35, පමණ වන විට රූපවාහිනී ප්රවෘත්ති වාර්තා කරන්නට වූයේ උතුරු නැගෙනහිර ප්‍රදේශයේ මුහුදේ ජලමට්ටම ඉහළට නැගෙමින් මුහුද ගොඩට ගලා එන තත්ත්වයක් වාර්තා වන බවය.
එහෙත් පසුව වාර්තා වන්නේ ඉන්දුනිසියාවට අයත් සුමාත්‍රා දූපතට ආසන්න ආසන්න මුහුදේ සිදුවෙන රික්ත මාපකයේ 9.2 අගයකින් යුත් අතිශයින්ම දරුණු භූ චලනයක් නිසා මුහුද අභ්‍යන්තරයේ සිදුවන මහා කැළඹීමක් සමග සුනාමි තත්ත්වයක් හටගත් බවයි.
මෙම සුනාමි තත්ත්වය ඇතිවීම නිසා ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත සහ ඒ ආශ්රිත ප්‍රදේශ මෙන්ම, තායිලන්තය, ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය සහ අන්දමක් දූපත්වලටද එය දරුණු ලෙස බලපෑ අතර ඒවායේද අති විශාල මිනිස් ජීවිත අහිමිවීමක් සේම මහා දේපළ හානියක් සිදුවිය.
ඒ සමග අපගේ ශබ්දකෝෂයට සුනාමි නමින් තවත් අලුත් වචනයක් එක් විය. නැගෙනහිර මුලතිව් සිට ත්‍රිකුණාමලය, මඩකලපුව, අක්කරපත්තු, පානම, හම්බන්තොට, තංගල්ල මාතර, ගාල්ල බේරුවල සහ කළුතර දක්වා අදහා ගත නොහැකි විනාශයක් සිදුවූ අතර මොරටුව කොළඹ උස්වැටකෙයියාව සහ මීගමුව වෙරළ තීරයේ සුළු හානි තත්ත්වයන් ඇති විය.
නැවත වරක් පවසන්නේ නම් එය මෑත අප දන්නා ඉතිහාසයේ සිදු වූ අතිශයින්ම දරුණු ස්වභාවික ව්‍යසනයයි.
සුනාමි තත්ත්වයක් පිළිබඳව ශ්‍රී ලාංකීය ජනතාවගේ තිබූ නොදැනුවත්කම නිසා සිදු වූ විනාශය සහ අහිමි වූ ජීවිත ප්‍රමාණය ඉතා ඉහළ අගයක් ගන්නට විය.
කොළඹ ගාල්ල දක්වා ගමන් ගන්නා මගීන්ගෙන් පිරී ඉතිරී ගිය දුම්රිය පෑරළිය ප්‍රදේශයේදී සුනාමි ජලකඳට ගොදුරු වීමෙන් දුම්රිය අනතුරක් නිසා සිදු වූ වැඩිම ජීවිත ප්‍රමාණයක් අහිමි වීමේ ඛේදනීය වාර්තාවක් ශ්‍රී ලංකාවට හිමිවිය.
එවකට රට පාලනය කළ ආණ්ඩුවට මෙවැනි ආපදාවක් ඇති වූ විට එය කළමනාකරණය කර ගැනීමට තිබූ නොහැකියාව මැනවින් පෙනෙන්නට විය.
මේ මහා ඛේදවාචකය නිසා සමස්ථ ලෝකයේම අවධානය ශ්‍රී ලංකාව වෙත යොමු වූ අතර රාජ්‍ය සහ රාජ්‍ය නොවන මට්ටමින් සිදුවූ විනාශයෙන් රට නැවත ගොඩනැගීමට ශ්‍රී ලංකාවට ඇදී ආ ද්‍රව්‍යමය සහ මූල්‍යමය ආධාර කොපමණදැයි කිව නොහැකි තරම් විශාල අගයකින් යුතු විය.
ඒ අතර බලයේ සිටි සමහර දේශපාලකයින් තමන්ගේ මඩි තර කරගන්නට මේ සුනාමි ව්‍යසනය උපයෝගී කරගත් ආකාරයද අපි අත්දැක්කෙමු.
ඒ වනවිට උතුරු නැගෙනහිර බොහෝ ප්‍රදේශ එල්ටීටීඊ සංවිධානයේ පාලනය යටතේ පැවති අතර එම ප්‍රදේශවල විපතට පත් වූ ජනතාවට පිහිටවීම සඳහා ශ්‍රී ලංකා රජයේ සෘජු මැදිහත්වීම යම්තාක් දුරට ගැටලුවක්වූ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු විවිධ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන එම කටයුතු සම්බන්ධීකරණය කිරීම අප සැබවින්ම අගය කළ යුතුය.
එවකට පැවැති ආණ්ඩුව උතුරු නැගෙනහිර විපතට පත් ජනතාව වෙනුවෙන් රජයේ මැදිහත්වීම සඳහා විවිධ යෝජනා ඉදිරිපත් කළත් එල්ටීටීඊ සංවිධානය ඒ මොහොතේ පවා අනුගමනය කළේ දරදඬු පිළිවෙතකි.
කෙසේ වෙතත් ආපදාවට පත් නොවූ ප්‍රදේශවල ජනතාව සුනාමි ව්‍යසනයෙන් පීඩාවට පත් වූ ජනතාවට සහන සැලසීමට සහ ඔවුන්ගේ ජීවිත නැවත ගොඩනැගීමට ස්වෙච්චාවෙන් කටයුතු කළ ආකාරය විපතකදී තම සොහොයුරු සොහොයුරියන් වෙනුවෙන් කටයුතු කිරීමට ඇති කැමැත්ත සහ කැපවීම මනා ලෙස දෘශ්‍යමාන විය.
විපතට පත් ජනතාව වෙනුවෙන් සහන සැලසීමට සහ රට ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකාව වෙත ලබා දෙනු ලැබූ ද්‍රව්‍යමය සහ මූලය මේ ආධාර නිසි ලෙස කළමනාකරණය කර ගත්තේ නම් ආර්ථිකමය වශයෙන් අපට ස්වර්ණමය තත්ත්වයක් දක්වා ළඟාවීමට ඉඩ තිබුණි.
මේ මහා ව්‍යසනය සමග එක්ව රට ගොඩ නැගීමට ජනතාවට ආරාධනය කරමින් මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් රචනා කරන ලද, ආචාර්ය රෝහණ වීරසිංහ තනු නිර්මාණය කර සංගීතය සැපයූ, සුනිල් එදිරිසිංහ දරුවන් පිරිසක් සමග ගායනා කළ ගීතයේ එක් පද පේළියක මෙසේ සඳහන්වේ.
“අප හැමදෙනාම වැටුණු වළින් ගොඩට ගන්න
ජන නායකයිනි එක තැනකට එකතු වෙන්න
තරහ මරා ටිකකට අමතක කරන්න
කුලල් කකා බැහැ මේ රට ගොඩනගන්න”
අවස්ථාවාදී දේශපාලකයින් එවන් මහා ව්‍යසනයක් තුළදී පවා තමන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන්ම පෙනී සිටි අතර ශ්‍රී ලංකාව ගොඩනැඟීමට තිබූ මහත් වූ අවස්ථාවක් අප අහිමි කර ගත් බව කිව යුතුය.
අරුණ ශාන්ත නෝනිස්
2024.12.26










