සෑම පුරවැසියකුගේම අවම ආහාර අවශ්‍යතාව ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව දැරිය හැකි මිලකට ලබා දීමේ අරමුණෙන් ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව ස්ථාපිත කිරීමට ජනපති අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ යෝජනාවට ඇමති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව, ජාතික ආහාර හා පෝෂණ සුරක්ෂිතතාව ඇති කිරීම සහ ආහාර ආරක්ෂිතව ලබා දීම රජයේ ප්‍රමුඛ කාර්යයක් වන අතර, සෑම පුරවැසියකුගේම අවම ආහාර අවශ්‍යතාව ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව දැරිය හැකි මිලකට ලබා දීමේ අරමුණෙන් ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව ජනාධිපති කාර්යාලය යටතේ ස්ථාපිත කෙරේ.
නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව,
01. රට තුළ නිෂ්පාදනය කළ හැකි සියලුම ආහාර දේශීයව නිෂ්පාදනය කිරීම
02. අවම වශයෙන් මාස 03කට ප්‍රමාණවත් අත්‍යවශ්‍ය ආහාර ස්වාරක්ෂක තොග පවත්වා ගැනීම
03. රටේ පවතින ආහාර තොග පිළිබඳ දත්ත පද්ධතියක් පවත්වාගෙන යාම
04. ආහාර සුරක්ෂිතතාව කෙරෙහි ඉවහල් වන නිෂ්පාදනය, ගබඩා කිරීම, බෙදා හැරීම, තොග හා සිල්ලර වෙළෙඳාම යන ක්‍රියාවලින් සඳහා පෞද්ගලික අංශයේ ද සහභාගීත්වය ලබා ගනිමින් ඵලදායී වැඩසටහන් සකස් කර ක්‍රියාත්මක කිරීමද මෙම කමිටුවේ ප්‍රමුඛ කාර්යයන් වේ.
ඒ අනුව ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා සම්බන්ධිත සියලුම ආයතනයන්හි සහභාගීත්වය සහිත දත්ත හා තොරතුරු මත පදනම් වූ විද්‍යාත්මක විශ්ලේෂණයක් තුළින් ප්‍රතිපත්තිමය මග පෙන්වීම ලබා දීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරි මාර්ග ඇමතිගේ සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ඇමතිගේ සම සභාපතීත්වයෙන් යුතුව අග්‍රාමාත්‍ය ලේකම් ඇතුළු අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සාමාජිකත්වයෙන් මෙම කමිටුව ස්ථාපිත කෙරෙනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.









