පාසල් සංවර්ධන නිලධාරීන් සහ උපාධිධාරීන් ගුරුසේවයට බඳවා ගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේදී ඊයේ (29) දින පැවති සාකච්ඡාවේදී එකඟතා රැසක් ඇතිකර ගැනීමට හැකි වූ බව සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි පවසයි.
අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සේනාරත්න, අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් ඇතුළු පාසල් සංවර්ධන නිලධාරී සේවා සංගමයේ සියලු නිලධාරීන් සහ උපාධිධාරීන් මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටි අතර මෙහිදී මූලික වශයෙන් පාසල් සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සම්බන්ධව සාකච්ඡාවට ලක් කර තිබේ.
විශේෂයෙන් පසුගිය 2023 මාර්තු 27 දින පවත්වන්නට යෙදී තිබුණු පාසල් සංවර්ධන නිලධාරීන් හා උපාධිධාරීන් සඳහා ගුරු තරග විභාගය අත්හිටුවීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් ගොනුකළ අතර එම පෙත්සම් අවුරුද්දකට වැඩි කලක් තිස්සේ සිදුකළ විභාගයෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණයේදී සමථකරණයට ලක් විය. එහිදී පත්වීම් බලධාරීන්ගේ එකඟතාවය මත පාසල් සංවර්ධන නිලධාරීන් හා උපාධිධාරීන්ගේ තරග විභාගය පවත්වන්නටත් ඔවුන්ගේ උපරිම වයස් සීමාව අවුරුදු 40 සිට 45 දක්වා වැඩි කර ගැනීමටත් රාජ්‍ය සේවා කොමිසම එකඟතාවයකට පැමිණ ඇත.
එම එකඟතාවයන් සැලකිල්ලට ගෙන ඉදිරියේදී නැවත ගුරු තරග විභාගය කැඳවීමටත් එම විභාගයට සූදානම් වීම සඳහා අවශ්‍ය කාලය ලබාදෙමින් විභාගය පැවැත්වීමට ඊයේ දින සාකච්ඡාවේදී එකඟතාවයට පැමිණි බවත් චන්දන සූර්යආරච්චි පවසයි.
මෙම ගැටලුව විසඳා අවසන් වන තෙක් සංවර්ධන නිලධාරීන් වාර්ෂිකව සිදුවන ස්ථාන මාරු ක්‍රියාවලියට අදාළ කර නොගැනීමට හා එතෙක් පාසල්වල රඳවා තබා ගැනීමටත් මෙම සාකච්ඡාවේදී එකඟ වූ බව ද මෙහිදී සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි වැඩිදුරටත් පවසයි.










