ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන නඩු විභාගයේ දී හිටපු ඇමැතිවරුන් සියලු දෙනාම ලබා දී තිබෙන ප්‍රකාශ මඟින් කෙහෙළිය රඹුක්වැල්ල දැඩි ලෙස හිර වී ඇති බව පැහැදිලි වී තිබේ.
පසුගිය සතියේ දී හිටපු ඇමැතිවරුන් රැසක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අධිකරණයේ නියමය අනුව ප්‍රකාශ ලබා දී තිබිණි. සමස්තයක් ලෙස එම ප්‍රකාශ සියල්ලෙන් හෙළි වී ඇත්තේ, එම කැබිනට් මණ්ඩල සාමාජිකයන් සියලු දෙනාම මුළා කර ඖෂධ ජාවාරම සිදු කර ඇති බව ය. එමෙන්ම එයින් වැඩි දුරටත් කියැවෙන්නේ හිටපු ජනාධිපතිවරුන් සහ කැබිනට් ඇමැතිවරුන් සියලු දෙනාම මුළාවේ වැටෙන අඳබාලයන් ලෙස ක්‍රියා කර ඇති බව ය.
හිටපු අධිකරණ ඇමැතිවරයකු වූ විජේදාස රාජපක්‍ෂ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇති ප්‍රකාශය උපුටා දක්වමින්, රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණය හමුවේ වැදගත් කරුණු රැසක් හෙළි කර ඇත. ව්‍යාජ ඖෂධ හිඟයක් මවාපාමින්, හදිසියේ මිල දී ගත යුතු ඖෂධ මොනවා ද යන්න හෝ කැබිනට් පත්‍රිකාවේ සඳහන් නොකර කෙහෙළිය රඹුක්වැල්ල ඖෂධ ජාවාරමට පසුබිම සකස් කර දී ඇති බව එමඟින් හෙළි වී තිබේ.










