කිසිදු දීමනාවක් හෝ වැටුපක් නොබලා ආර්ථිකය ගොඩනැගීම සඳහා සහාය දීමට සූදානම් බව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩල නියෝජිතයෝ ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවේ ප්‍රකාශ කර තිබේ.
ඒ, අද (29) ජනාධිපති ලේකම් කාර්යාලයේදී, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩල නියෝජිතයෝ ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වී පැවති සාකච්ඡාවේදීය.
රක්ෂණ, බැංකු, ඉදිකිරීම්, සංචාරක, වැවිලි කර්මාන්ත, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ගැටලු හා අනාගත ඉලක්ක පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.
රටේ ආර්ථිකය ගොඩනඟමින් ඊට අනුරූපව ජනතාවට බදු සහන ලබා දීමට කටයුතු කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී සඳහන් කර තිබේ.
විදුලිය සහ බලශක්තිය ක්ෂේත්‍ර පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදී බලශක්ති ස්වාධිපත්‍යට ප්‍රමුඛතාව ලබා දෙන බවද නව විදුලි බල පනතක් සකස් කිරීමේදී බලශක්ති ස්වාධිපත්‍ය ගොඩනඟන දිශාවට අවශ්‍ය කටයුතු කිරීමට අවධානය යොමු වී ඇති බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී අනාවරණය කර ඇත.
අකාර්යක්ෂමතාව, සේවක කළමනාකරණය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නා බවත් කාර්යක්ෂම මහජන සේවාවක් සඳහා විදුලි බල මණ්ඩලයට අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම හමුවේදී ප්‍රකාශ කර තිබේ.
ඉදිරි අවුරුදු කිහිපය තුළ විදුලි බිල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කිරීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති වැඩිදුරටත් පවසා තිබේ.
අපනයන කර්මාන්තය දියුණු කිරීම සහ ජාත්‍යන්තර නව වෙළඳපොළ අවස්ථා සොයා ගැනීම තානාපති සේවයෙහි ප්‍රමඛ කාර්යක් බවත් ඒ සඳහා හැකියාව පවතින දක්ෂ නිලධාරීන් තානාපති සේවයට පත් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී වැඩිදුරටත් කියා ඇත.
ජාතික වාණිජ මණ්ඩලයේ සභාපති, GSH සිටි හොටෙල් හි කළමනාකරණ අධ්යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී දීපාල් නෙල්සන්, ජාතික වාණිජ මණ්ඩලයේ ලේකම්, රීජන් රිනීවර්බල්ස් ප්‍රයිවර්ට් ලිමිටඩ් හි කළමනාකරණ අධ්යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය ලක්මාල් ප්‍රනාන්දු, සීමාසහිත සෙලින්කෝ ජෙනරල් රක්ෂණ සමාගමේ කළමනාකරණ අධ්යක්ෂ
පැට්රික් අල්විස්, පෑන් ඒෂියා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී නලින් එදිරිසිංහ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

Views: 1










