14 වැනිදායින් පසු පාර්ලිමේන්තුව මල් විලක් බවට පත් කරන්න අපි සූදානම් – නලින් හේවගේ

14 වැනිදායින් පසු පාර්ලිමේන්තුව මල් විලක් බවට පත් කරන්න අපි සූදානම් – නලින් හේවගේ

14 වැනිදායින් පසු පාර්ලිමේන්තුව මල් විලක් බවට පත් කරන්න අපි සූදානම් යැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ගාල්ල දිස්ත්‍රික් කණ්ඩායම් නායක නලින් හේවගේ අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ ඊයේ (27) බද්දේගමදී පැවති ජාතික ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක කණ්ඩායමේ ජය තහවුරු කිරීමේ මහජන රැලිය අමතමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ගාල්ල දිස්ත්‍රික් කණ්ඩායම් නායක නලින් හේවගේ,

“මේ දක්වා ජනතාව ලබා දුන් ඡන්දවලින් බලයට පත් වුණු අය එක්කෝ පවුලක් හැදුවා, නැත්නම් හවුලක් හැදුවා. රාජපක්‍ෂ මහත්තයාගේ ආණ්ඩුවක් හැදුවා කියලා කීවාට එයාගේ මල්ලි බැසිල් මුදල් ඇමැති, මල්ලි ගෝඨාභය ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්, චමල් අයියා කෘෂිකර්ම ඇමැති, ලොකු පුතා නාමල් ක්‍රීඩා ඇමැති, මද්දුම පුතා ජනාධිපති කාර්ය මණ්ඩලයේ ප්‍රධානියා, අයියාගේ පුතා වන ශෂීන්ද්‍ර රාජපක්‍ෂ ඌවේ මහඇමැති, ශිරන්ති රාජපක්‍ෂ ‘සිරිලිය’ අධිපතිනි, එයාගේ මල්ලි ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපති වාගේ තව ගොඩක් විහිදී ගිය පවුලක් හැදුවා. ජනතාව ගිය ඡන්දයෙන් රනිල් වික්‍රමසිංහව ගෙදර යැව්වත්, පොහොට්ටුවේ මන්ත්‍රී ඡන්දවලින් ඔහු ජනාධිපති ලෙස තෝරා ගත්තා. ඊට පස්සේ සාගල රත්නායක, ආරක්‍ෂක උපදේශක, අකිල විරාජ් කාරියවසම්, ජනාධිපති උපදේශක, රුවන් විජේවර්ධන ජනාධිපති උපදේශක, සමන් රත්නප්‍රිය, ජනාධිපති උපදේශක, රෝසි සේනානායක සහ මනූෂ නානායක්කාර වාගේ අනූපස් දෙනෙක් උපදේශකලා ලෙස පත් කර ගත්තා. ජනතාවගේ ඡන්දයෙන් මහින්ද මහත්තයාට ආණ්ඩුවක් හදන්න අවස්ථාව දුන්නාම එක වෙලාවක පවුලක් හදලා, ජනතාව ඒ පවුල පලවාහැරියාම රනිල් වික්‍රමසිංහ සමඟ හවුලක් හැදුවා. ඒ පවුල් දේශපාලනයේ සහ හවුල් දේශපාලනයේ අවසානය මේ මැතිවරණයෙන් තහවුරු වෙනවා. මේ මජර දේශපාලනය තිබෙන පාර්ලිමේන්තුව 14 වැනිදායින් පසු මල් විලක් බවට පත් කරන්න අපි සූදානම් වෙනවා.

මේ අය වෙනුවෙන් ආරක්‍ෂාව දෙන්න පොලිසියේ විශාල පිරිසක් යොදවා සිටියා. මහජනතාවගේ පැමිණිල්ලක් විභාග කරන්න පොලිසියේ මහත්තයෙක් නැති තරමට හිඟයක් පැවැතුණා. ගම්පහ සිටි කමලා රණතුංග මන්ත්‍රීවරියගේ ආරක්‍ෂාවට බව කියමින්, පොලිසියේ පස් දෙනකු යොදවා සිටියා. ඒ අය මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා රටට හෙළි කළේ හරක් බඳින්න ඔවුන් යොදවා සිටි බවයි. සමහර නෝනාලාගේ හැට්ට කටු ගහන්නත් පොලිසියෙන් යොදවා සිටියා. ඒ සෙල්ලම් ඔක්කොම දැන් ඉවරයි. ඒ වාගේම රෝහිත වාගේ මන්ත්‍රීවරුන්ගේ බෑනලාගේ ගෙවල්වල තිබී කෝටි හයක් වටිනා වාහන හමු වෙමින් තිබෙනවා. මල්වානේ ගෙදරට අයිතිකාරයෙක් හිටියේ නැහැ. නීතියට සමච්චල් කරන්නේ මේ ආකාරයට. යෝෂිතලාගේ ගෙදරට මැණික් මලු ගෙනැවිත් දෙනවා. ඒ වාගේම පරීක්‍ෂණ පවත්වන අවස්ථාවල දී නයි දෂ්ට කරනවා. නීතියක් නැති පාලනයක් තිබුණේ ඒ ආකාරයට.

නීතියක්, විනයක් නැතිව රටක් හදන්න බැරි බව බුදුහාමුදුරුවොත් දේශනා කළා. රටේ නීතිය, ප්‍රජාතන්ත්‍රවාදය නැති තැන සංවර්ධනයක් ඇති කරන්න බැහැ. ඉතාම කෙටි උත්සවයක් පවත්වා අනුර කුමාර සහෝදරයා ජනාධිපති ධුරයේ දිවුරුම් දී, ආදර්ශවත් ආකාරයෙන් ආරම්භ කර හරිනි සහෝදරිය අගමැති ධුරයේත්, විජිත හේරත් සහෝදරයා ඇමැති ධුරයේත් දිවුරුම් දී, මූලික ආදර්ශය දී තිබෙනවා. දේශපාලනය නිසි ආකාරයෙන් ගොඩනැඟීම අපේ වගකීමක්. එතැනින් පටන්ගෙන මේ රටේ සමස්ත ජනතාවගේ ජීවිත යහපත් බවට පත් කිරීමේ වගකීම අපි ක්‍රියාවෙන්ම ඔප්පු කරනවා. ඒ වෙනුවෙන් ලබන 14 වැනිදා පැවැත්වෙන මහා මැතිවරණයේ දී මාලිමාවේ මන්ත්‍රීවරුන්ගෙන් පාර්ලිමේන්තුව පුරවන්න.”

Facebook
Twitter
LinkedIn