පුනරුද යුගයට රට යළි ගෙනයක් ශක්තිමත් පදනමක්…

පුනරුද යුගයට රට යළි ගෙනයක් ශක්තිමත් පදනමක්…

ශ්‍රී ලංකාවේ කඩා බිඳ දමන ලද කර්මාන්ත පිළිබඳවා බොහෝවිට අවධාරණය යොමු කර තිබෙන්නේ රාජ්‍ය අංශය කෙරෙහි වුවද පෞද්ගලික අංශයේ පැවති කර්මන්ත විශාල ප්‍රමාණයක් විනාශ මුඛයට හෙලන ලද ආකාරය හෙළි වෙමින් පවතී.

මේ සම්බන්ධයෙන් විශේෂ ලිපියක් පසුගිය 20 වෙනි ඉරිදා දිවයින පුවත්පතේ පල කර තිබූ අතර එයින් මූලික අවධානය යොමු කර තිබුණේ විදුලි යතුරුපැදි සම්බන්ධයෙනි. උපාලි සමාගමෙන් එකලස් කරන ලද එම යතුරුපැදියක් ඉතාලියේ අගමැති පවා භාවිතා කළ බව එම ලිපියෙන් හෙළි කර තිබෙන අතර එම සම්පූර්ණ ලිපිය උපුටාගෙන පහත දැක්වේ.

ඉතාලියේ හිටපු අගමැතිත් පැද්ද අපේ රටේ හදපු විදුලි යතුරුපැදිය

ලංකාවේ වාහන එකලස් කිරීම ඇරඹූ උපාලි විජයවර්ධන
යුරෝපීය වෙළෙඳපොළට මුල් වරට ලංකාවේ නිෂ්පාදිත ඉලෙක්ට්‍රික් බයිසිකල්.
යුරෝපීය වෙළෙඳපොළට ඉන්දියාවට හෝ චීනයටත් හැකියාව නැහැ.
ඉන්දියාව මරුති කාර් එක හැදුවෙත් ලංකාවේ ගහපු උපාලි ෆියට් දැකලා
ලංකාවට ගෙඩි පිටින් ආනයනය කරන ඉලෙක්ට්‍රික් මෝටර් සයිකලයක් යුරෝපීය වෙළෙඳ පොළේ විකුණා පෙන්නන ලෙස අභියෝගයක්.
ලංකාවේ දේශීය ව්‍යාපාර ගැන අතීත කතාවක් ඇත්තේ මෙසේය.

“ඇක්සිමෝවෙක්ට ශිතකරණයක් විකුණන තලයට ලංකාවේ ව්‍යාපාර දියුණු කළ යුතුයි ”

නමුත් සිදුවූයේ කුමක්ද ඇක්සිමෝවන්ට ශීතකරණ විකිණීම පසෙක තැබූ අප ජාතියක් ලෙස ‘කංකුං’ පවා ආනයනය කරන්නට පියවර ගැනීමය.

ලංකාවේ දේශීය කර්මාන්ත ගොඩනගා ගන්නට කිසිදු ප්‍රතිලාභයක් නොලබා මෙරටට කර්මාන්ත ශාලා පරිත්‍යාග කළේ රුසියාව, චෙකොස්ලෝවැකියාව වැනි කොමියුනිස්ට් රටවල් විසිනි. කන්තලේ සීනි සංස්ථාව, ඇඹිලිපිටිය හා වාලච්චේන කඩදාසි සංස්ථාව, ඔරුවල වානේ සංස්ථාව, පිළියන්දල පිඟන් සංස්ථාව සහ කොස්ගම තුනී ලෑලි සංස්ථාව ඉන් කිහිපයකි.

හැත්තෑව දශකය මෙරට දේශීය කර්මාන්ත නැගී ගෙන එන පුනරුදයක් වූ යුගය ලෙස ඉතිහාස ගත වී හමාරය. සිසිල් ෆ්‍රිජ් එක, මෙටලික්ස් කවකටු පෙට්ටි, උණුවතුර කේතල්, ලින්ටන් බයිසිකල්, රෝලන්ඩ් ෆෑන්, ගිංතො ෆ්ලයිවුඩ් දොරවල්, ඇඹිලිපිටිය – වාලච්චේන කඩදාසි ආදී බොහොමයක් කර්මාන්ත දෙපයින් නැගී සිටියේ 1970 – 1977 යන යුගයන්ය. ඊටත් වඩා ඩියුරෝ උණුවතුර බෝතල්, නයිලෝන් ෂර්ට් කෙසේ අමතක කරන්නද? එදා තමිල්නාඩුවේ බයිස්කෝප්වල නළුවන් ඇන්ඳේත් ලංකාවේ ඩියුරෝ නයිලෝන් ෂර්ට්ය. එහි උඩ සාක්කුවේ රුපියල් දහයේ කොලයක් නයිලෝන් ෂර්ට් එකේ හිඩැස අතරින් පෙනෙන්නට සැලැස්වීම එදා සශ්‍රීක බවේ සංකේතයක් බඳු විය.

මේ දේශීය කර්මාන්ත අතර උපාලි විජයවර්ධනගේ නාමය සුවිශේෂය. යුනික් රේඩියෝ වැනි කාර්මික නිෂ්පාදන අතර උපාලි විජයවර්ධන ඉතිහාස ගත වන්නේ මෙරට පළමු වාහන එකලස් කරන ‘උපාලි මෝටර් කෝපරේෂන් ලිමිටඩ්’ නිර්මාතෘවරයා ලෙසය. උපාලි දේශීයව වාහන එකලස් කරන්නට තෝරා ගන්නේ ඉතාලියේ ෆියට් සමාගම සහ ජපානයේ බැග්ඩා සමාගමය. ඉතාලියේ ෆියට් කොම්පැනිය සමග එක්ව උපාලි මෝටර්ස් සමාගම දේශීයව කාර් මොඩ්ල් දෙකක් එකලස් කරන ලදී. 1974 මහ බැංකුවේ වාර්තාවක සඳහන් පරිදි එම මොඩ්ල් දෙක හඳුන්වා ඇත්තේ උපාලි ෆියට් 127 සහ උපාලි ෆියට් 128 ලෙසය. මෙම වර්ගීකරණයට පාදක වී ඇත්තේ එන්ජින් ධාරිතාවය. උපාලි මෝටර්ස් ආනයනය ජපානයේ මැස්ඩා කෝපරේෂන් සමග එක්වී ලංකාවේ එකලස් කළ කාර් රථය හැඳින් වූයේ උපාලි මැස්ඩා ලෙසය..

ලංකාවේ එකලස් කළ සුඛෝපභෝගී වාහන තුන දැක සංජේ ගාන්ධි මවිතයට පත් විය. ඒ වනවිටත් ඉන්දියාවේ එකලස් කරමින් පැවැතියේ ඇම්බයිඩර් සහ පද්මිනි ප්‍රිමියර් යන ගොරහැඬි පෙනුමෙන් යුතු කාර් දෙක පමණි. ඇම්වයිඩර් රථය එංගලන්තයේ මොරිස් ආයතනය සමග සහයෝගිතා ගිවිසුමක් මත ඉන්දියාවේ එකලස් කළ අතර පද්මිනි රථය එංගලන්තයේම ඔස්මන් කොම්පැනිය සමග සහයෝගිතා ගිවිසුමක් මත ඉන්දියාවේ දී එකලස් කරමින් පැවැතුණි.

ලංකාවේ උපාලි විජයවර්ධන එකලස් කළ සුඛෝපභෝගී කාර් රථ දැක සංජේ ගාන්ධි කළ ප්‍රකාශයක් එවක හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පතේ පළ කොට තිබුණි.

“අනාගතයේ දී ලංකාවේ මෙන් සුපිරි කාර් රථ ඉන්දියාවේත් නිපදවිය යුතුය!”

එම පුවතේ ශීර්ෂ පාඨය විය.

එසේ කියා සංජේ ගාන්ධි වහාම තම සහයෝගිතා ගිවිසුමට එක්කොට ගත්තේ ජපානයේ සුසුකි සමාගමයි. සංජේ ගාන්ධි මුල පිරූ වාහන සමාගමට නම තැබුවේ මාරුතය යන තේරුම ඇති ‘මරුති’ යන වෙළෙඳ නාමයයි. ජපානය සමග එක්වී ඉන්දියාවේ එකලස් කරන්නට ආරම්භ කළ කුඩා මෝටර් රථයේ වෙළෙඳ නාමය ‘සුසුකි මරුති’ නම් විය. එවකට ලංකාවේ නිපදවූ උපාලි ෆියට් හා උපාලි මැස්ඩා රථ වායු සමනය සඳහා අවශ්‍ය බ්ලොවර් (Blower) වලින් සමන්විත වුවත් ඉන්දියාවේ මුලින් නිපදවූ ‘සුසුකි මරුති’ කාර් එකේ බ්ලොවර් වත් නොතිබුණු බේසික් රථයක් විය. එහි එන්ජින් ධාරිතාව 800CC විය. මේ වනවිට ඉන්දියාව ජර්මනියේ බෙන්ස් කොම්පැනිය එක්ව ටාටා බෙන්ස් බස් රථ මෙන්ම එංගලන්තයේ ලේලන්ඩ් කොම්පැනිය සමග එක්ව අශෝක් ලේලන්ඩ් බස් කොම්පැනිය ද ආරම්භ කොට තිබුණි.

ජපානයේ කවසාකි (Kawasaki) මෝටර් බයිසිකල් කොම්පැනිය සමග එක්ව කවසාකි බජාජ් (Kawasaki Bajaj) මෙන්ම ජපානයේම හොන්ඩා මෝටර් සයිකල් කොම්පැනිය සමග එක්ව හීරෝ හොන්ඩා (Hero Honda) මෝටර් සයිකල් එකලස් කරන්නට පටන් ගත්තේ ඊටත් පසුවය.

ඉන්දියාවේ නිෂ්පාදන Basic Car රථයක් වූ ‘සුසුකි මරුති’ රථය ඉන්දියන් ජනතාව වැළඳ ගත්තේ ජාත්‍යාලයෙනි.

ඊළඟට එළැඹෙන්නේ 1977 ජේ. ආර්. ජයවර්ධන ඔරියන්ට් සමාජ යුග පෙරළියයි. සියලු දේශීය කර්මාන්ත වළ පල්ලට යැවෙන්නේ ඉන්පසුවය. එහි ප්‍රතිඵලයක් ලෙස වසර 10-15 පවා පැරණි යුරෝපයේ ලෙලියන්නට පට්ට ගැසූ වාහන පවා ආනයනයට අවසර ලැබුණි. මැතිනියගේ ආණ්ඩුවේ සියලුම රාජ්‍ය බැංකු දෙපාර්තමේන්තු, අමාත්‍යාංශ සඳහා මිලිදී ගැනීමට නිර්දේශ කොට තිබුණේ උපාලි ෆියට් සහ උපාලි මැස්ඩා කාර් රථය. ඒවා රාජ්‍ය ආයතනවලට මිලදී ගැනීමට පිළිගත් ආයතන තුනක් මගින් ටෙන්ඩර් කැඳවීමට අවශ්‍ය මිලදී ගැනීමේ අණපනත් පවා සකස් කොට තිබුණි.

අසූව දශකය මුලදී ව්‍යාපාරික උපාලි විජයවර්ධනගේ ප්‍රකාශයක් සටහන් කොට තිබුණේ ජාත්‍යන්තර ASIAWEEK සඟරාවේ ගුණදාස ලියනගේ විසිනි. විශේෂත්වය වන්නේ මේ දෙදෙනාම ලිවර් බ්‍රදර්ස් ආයතනයේ කලක් එකට සේවය කළ දෙදෙනකු නිසාය.

“උපාලි ෆියට් හා උපාලි මැස්ඩා රථ මුලින්ම අපනයනයට සූදානම් කොට තිබුණේ මැලේසියාවට. මාව මැලේසියාවේ හැඳින්වූයේ කොකෝවා රජ්ජුරුවෝ කියලා. ඊට පස්සේ යුරෝපයට ඒ රථ දෙක අපනයනයට කර්මාන්ත ශාලාව නවීකරණයට සියලු සැලසුම් සකස් කර තිබුණේ.”

එහෙත් යුරෝපීය වෙළෙඳපළ ජය ගැනීමේ උපාලි විජයවර්ධනගේ ‘වාහන සිහිනය’ ඵල ගන්නේ නැත. මැලේසියාවේ දැනට නිපදවන ELITE VIVA නමැති හුරුබුහුටි කාර් රථය එකලස් කිරීමට මුලින්ම සැලසුම් කොට තිබුණේ අපේ මේ ලංකාවේ බව බොහෝ දෙනා නොදන්නා කරුණකි.

මේ අතර 2022 වසරේදී ධම්මික පෙරේරා නම් වූ ව්‍යාපාරිකයා පැමිණෙන්නේ ඉතාලියේ සිටය. ඔහු ඒ වනවිටත් වසර 25 කටත් අධික කාලයක් ව්‍යාපාරිකයකු ලෙස ජීවත් වුණේ ඉතාලියේය.

ඉතාලියේ ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල් කර්මාන්ත ශාලාවකින් ධම්මික පෙරේරා ඒ වන විටත් යුරෝපයට ඉලෙක්ට්‍රික් බයිසිකල් අපනයනය කරමින් සිටියේය.

“මං ලංකාවට ආවේ ලංකාවේ ඉලෙක්ට්‍රික් බයිසිකල් හදල යුරෝපයට අපනයනය කරන්න. 2022 ඔබ ආවේ ඉලෙක්ට්‍රික් බයිසිකල් 15,000ක් යුරෝපයට අපනයනය කරන ඕඩරයකුත් අරගෙන” ධම්මික අතීතය සිහිපත් කරන්නට විය.

ධම්මිකගේ ව්‍යාපාරයට කර්මාන්ත ශාලාව සඳහා තෝරා ගැනෙන්නේ නවගමුව ප්‍රදේශයේ දැවැන්ත ගොඩනැගිල්ලකි. කර්මාන්ත අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ සඳහන් වන්නේ එය ලංකාවේ ප්‍රථම සහ එකම ඉලෙක්ට්‍රික් බයිසිකල් නිෂ්පාදන ආයතනය ලෙසය.

වාහනයක ඇති චැසි අංකය එම රටේ අනන්‍යතාවය තහවුරු කරන එකකි. ධම්මිකට මුලින්ම වූ අභියෝගය ලංකාවේ නිපදවන ඉලෙක්ට්‍රික් බයිසිකලයට ලංකාවේ චැසි අංකයක් කෙටීමය. බලධාරීන් ධම්මිකට දැක්වූයේ චැසිය චීනයට යවා අංකය කොටා ලංකාවට නැවත ආනයනය කරන ලෙසය. එහෙත් ධම්මික ඇමරිකාවෙන් චැසි අංක නිරේකනය කරන යන්ත්‍රයක් ගෙන්වා ලංකාවට අනන්‍ය චැසි අංක නිරේකනයට කටයුතු සාර්ථක ලෙස නිමවන ලදී. ලංකා ඉතිහාසයේ පළමු වරට චැසි අංකය ‘K’ අක්‍ෂරයෙන් ආරම්භ වීම විශේෂත්වයකි.

ගෝඨාභය රාජපක්‍ෂ ජනපති වීමත් සමග ලංකාවට වාහන ආනයනය තහනම් කරන ලදී. ඒ නිසාම ලංකාවේ පෙට්‍රල් බයික් එකලස් කරන කර්මාන්තශාලා මෙන්ම ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල් එකලස් කරන කර්මාන්ත ශාලා 19ක් ආරම්භ විය. ලංකාවේ එකලස් කරන ලද ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල් ආනයනික ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල්වල ප්‍රමිතියට වඩා උසස් විය. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීමත් සමග මීට දෙවසරකට පෙර ඉලෙක්ට්‍රික් බයික් ගෙන්වීමටත් ආනයනයටත් අවසර දුන්නේ ගැසට් පත්‍රයක් මගිනි. ලංකාවේ එකලස් කළ ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල් සඳහා භාවිතා කරන ලද්දේ ලිතියම් වර්ගයේ ලොව පිළිගත් බැටරියකි. එහෙත් ගෙඩි පිටින් ආනයනය කළ ඉලෙක්ට්‍රික් බයිසිකල් සඳහා භාවිතා කොට තිබුණේ ලිතියම් බැටරියෙහි මිල මෙන් හතර ගුණයකටත් වඩා අඩු මිල බැටරියකි. ඒ ලෙඩ්ඇසිඩ් බැටරියකි. ලංකාවේ ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි මෙම බැටරිය ලෝකයේ බොහෝ රටවල් තහනම් කොට ඇති බැටරියකි. මෙම අඩු මිල හානිකර බැටරිය යොදා ගැනීම නිසා ගෙඩි පිටින් ඉම්පෝට් කරන ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල්වල මිල ලංකාවේ එකලස් කළ ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල්වලට වඩා බෙහෙවින් අඩු මිලකට වෙළෙඳපොළට පිවිසියේය.

විද්‍යුත් වාහන ලංකාවට අලුත් අත්දැකීමකි. අඩු මිලට ඇති ඉලෙක්ට්‍රික් බයිසිකල්වල කල්පැවැත්ම හෝ බැටරිය ආරෝපනය කළ හැකි වාර ගණන ගැන සාමාන්‍ය පාරිභෝගිකයන්ට අවබෝධයක් නොවීය. අන්තිමට මිල අඩු නිසා මිලදී ගත් මාස කිහිපයකින් ගර්හිත තත්ත්වයට පත්වීම නිසා ඉලෙක්ට්‍රික් වාහන ගැන වෛරයක් සමාගම් පාරිභෝගික ජනතාව තුළ වැද්ද ගන්නේ නිරායාසයෙනි.

දැන් ලංකාව ඉන්දියාව සහ චීනය ද පරදා ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල් අලෙවියෙන් යුරෝපීය වෙළෙඳපළට පිවිස ඇත. මේ ශ්‍රී ලංකාවේ ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල්වල තත්ත්වය නොහොත් Quality ය ගැන යුරෝපීය වෙළෙඳපළ ඉන්දීය මෙන්ම චීන නිෂ්පාදනවලටත් වඩා ඉහළ තත්ත්ව සහතිකයක් නිකුත් කොට ඇත.

ලංකාවෙන් නිපදවූ ඉහළ ප්‍රමිතියේ ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල් යුරෝපීය වෙළෙඳපළ ජයගත්හි අපේ රටේ ව්‍යාපාරිකයන් කරන්නේ ලෝකයේ ඇති බාලම තත්ත්වයේ ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල් ලංකාවට ආනයනය කොට පාරිභෝගිකයන් අතරමං කොට පලා යෑමය.

පසුගිය සඳුදා ලංකාවෙන් යුරෝපයට යැවෙන ප්‍රථම කන්ටේනර් බහාලුම් නවගමුවේ සිට පරණ අවිස්සාවේල්ල පාරේ කොළඹ වරාය තෙක් ගමන් ගනිද්දී අප ඉතිහාසයට එක්වුණේ ඒ ඓතිහාසික මොහොතට එක්වූ මුල්ම පිරිස ලෙසින් විය යුතුය.

රංගන ප්‍රසාද් කහවල

Facebook
Twitter
LinkedIn