ඖෂධ නිෂ්පාදනය සඳහා ආයෝජනය කිරීමට කියුබානු රජයේ අවධානය – කියුබානු තානාපති අගමැති හමුවේ කියයි

ඖෂධ නිෂ්පාදනය සඳහා ආයෝජනය කිරීමට කියුබානු රජයේ අවධානය – කියුබානු තානාපති අගමැති හමුවේ කියයි

ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය සඳහා කියුබානු රජයේ අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ පවසයි.

තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ මේ බව සඳහන් කර ඇත්තේ, අගමැති ආචාර්ය හරිනි අමරසූරිය වෙත කියුබානු රජයේ සුභපැතුම් එක්කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඊයේ (15) පස්වරුවේ පැවති සාකච්ඡාවකදීය.

ශ්‍රී ලංකාව සහ කියුබාව අතර ඇති වසර 65කට ආසන්න දීර්ඝකාලීන රාජ්‍යතාන්ත්‍රික සබඳතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම, කියුබානු ආධාර යටතේ ක්‍රියාත්මක කළ දැනට නතර වී ඇති මදුරු මර්දන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම, ශ්‍රී ලංකාවේ පුහුණු ආයතන සහ විශ්වවිද්‍යාල සඳහා වෛද්‍ය හා ක්‍රීඩා අධ්‍යාපනය පිළිබඳ ශිෂ්‍යත්ව පිපිරිණැමීම, ඇතුලු වැදගත් කරුණු රැසක් මෙහිදී සාකච්ඡා කර ඇත.

පසුගිය වසර කිහිපය තුළ කියුබාව මුහුණ දුන් ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද, කියුබාව අඛණ්ඩව ලබා දෙන සහයෝගය පිළිබඳව කෘතඥතාවය පළ කර ඇති අගමැති ආචාර්ය හරිනි අමරසූරිය, කියුබානු අගමැතිට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා නිල ආරාධනයක්ද සිදු කර තිබේ.

අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අගමැති අතිරේක ලේකම් මහින්ද ගුණරත්න යන නිලධාරීන් සහ කියුබානු රජය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිට ඇත.

Facebook
Twitter
LinkedIn