කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද (29) දිනයේ ජනාධිපති විමර්ශන කොමිසමට කැඳවා තිබූ අතර පැය 7ක පමණ කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කළ බව වාර්තා වේ.
ඒ පසුගිය ජනාධිපතිවරණ සමයේ ප්රචාරක දැන්වීම් පල කිරීමේදී ස්වාධීන රූපවාහිනියට පාඩුවන අන්දමින් මහින්ද රාජපක්ෂ මහතාගේ දැන්වීම් පල කිරීමට අදාළ මුදල් නොගෙවූයේයැයි කියන සිද්ධියට අදාළවය.
පෙරවරු 9.00ට පමණ ජනාධිපති විමර්ශන කොමිසමට පැමිණි මහින්ද රාජපක්ෂ මහතා පස්වරු 5.00ට පමණ කොමිසමෙන් පිටව ගියේය. මේ අතර ජනාධිපති විමර්ශන කොමිසම මගින් මහින්ද රාජපක්ෂ මහතාට තේ සහ දිවා ආහාරය පිළියෙල කොට තිබූ අතර ගල් කිස්ස මහ හෝටලයේ සේවකයින් නිල ඇඳුමින් කොමිසමට පැමිණිසිටියහ.
මේ අතර වාර්තා වන්නේ ජාතික රූපවාහිනියේ දැන්වීම් පලකිරීම් සම්බන්ධයෙන්ද මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විමර්ශන ආරම්භ වීමට බොහෝදුරට ඉඩ ඇති බවයි. එමෙන්ම CSN නාලිකාව සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකිරීමට බොහෝදුරට ඉඩ ඇති බවද වාර්තා වේ.
පිටව යන මොහොතේ මාධ්‍යයට අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ තමන්ගෙන් දේශපාලන වශයෙන් පලිගන්නා බවයි. ඔහු සමග හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, උදය ගම්මන්පිල, ප්‍රසන්න රණවීර මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදිත ලොකුබණ්ඩාර සහ ඒ.එච්.එම්. අස්වර්ද යන අයද පැමිණ තිබේ.









