අපට ඕනෑ ලෝකය ඉදිරියේ අපේ රට ඔසොවා තැබිය හැකි නායකයෙක් – පූජ්‍ය වකමුල්ලේ උදිත හිමි

අපට ඕනෑ ලෝකය ඉදිරියේ අපේ රට ඔසොවා තැබිය හැකි නායකයෙක් – පූජ්‍ය වකමුල්ලේ උදිත හිමි

අපට ඕනෑ ලෝකය ඉදිරියේ අපේ රට ඔසොවා තැබිය හැකි නායකයෙක් යැයි ජාතික භික්‍ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමි අවධාරණය කරයි.

ඒ හිමියෝ මේ බව අවධාරණය කළේ පසුගිය 23 වනදා මහරගම තරුණ සේවා ශ්‍රවණාගාරයේ පැවති ජාතික භික්‍ෂු පෙරමුණේ `සඟරුවනේ මහ පෙළහර’ මහ සඟ සමුළුව අමතමිණි.

ජාතික ජන බලවේගයේ නායක, ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ විජයග්‍රහණය උදෙසා ආශිර්වාද සිදු කිරීමේ අරමුණෙන් කැඳවා තිබූ මෙම සමුළුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික භික්‍ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමි,

“අපේ රටේ ජාතික නිදහස අහිමි කර අධිරාජ්‍යවාදීන් අපේ රට යටත් කර ගන්න උත්සාහ කළ මුල්ම අවස්ථාවේ සිට වාරියපොළ හාමුදුරුවෝ, ගිරාණේගම හාමුදුරුවෝ, කුඩාපොළ හාමුදුරුවෝ, චන්ද්‍රජෝති සීලවංශ හාමුදුරුවෝ ඇතුළු මහා සංඝරත්නය පෙරට ආවා. ඉන් පසුව මෑත ගත්තාම බළංගොඩ නායක හාමුදුරුවෝ, යක්කඩුවේ හාමුදුරුවෝ, මිගෙට්ටුවත්තේ හාමුදුරුවෝ, එස්. මහින්ද හාමුදුරුවෝ වැනි භික්‍ෂුන් වහන්සේලා පෙරමුණ ගත්තේ අපේම නායකයෙක් පත් කර ගන්න. නමුත්, 1948 සුද්දන් අපව දාලා ගියාට පස්සේ කළුසුද්දන් සුද්දන්ටත් වඩා විනාශයක් රටට සිදු කර තිබෙනවා. ඒ නිසා අපේ හුස්ම, අපේ මහපොළොව ගැන අවබෝධයක් තිබෙන, ලෝකය ඉදිරියේ අපේ රට ඔසොවා තැබිය හැකි නායකයෙක් අපට ඕනෑ. ඒ නැතිවීම ගැන එදා කුංකුණාවේ හාමුදුරුවෝ කීවේ, “අපට රජෙක් ලැබුණෝතින්, කැවුම්, කිරිබත් කඤ්ඤම්. පෙරහැර කරඤ්ඤම්. සාදුකාරයෙන් ගිගුම් දෙඤ්ඤම්” කියලා. අවුරුදු 209කට පස්සේ දැන් අපට ශ්‍රී ලාංකීය මහා සංඝයා වහන්සේලා කතා කළ ජනතාවාදී නායකයෙක් බිහි කර ගන්න ලැබී තිබෙන අවස්ථාව නිසයි මහ සඟරුවන මේ මහා සඟ පෙළහර පවත්වන්නේ. ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්‍ෂක, අනුර දිසානායක මැතිතුමාගේ ජයග්‍රහණය විජයග්‍රහණය කරවීම සඳහා මේ සමුළුව පවත්වනවා.

ජාතික ජන බලවේගය ගොඩනැඟී තිබෙන විවිධ කණ්ඩායම් අතර ඒ ඒ ක්‍ෂේත්‍රවල අය සංවිධානය කළ ආකාරයටම භික්‍ෂුන් වහන්සේලා හැටියට සංවිධානය කිරීම ජාතික භික්‍ෂු පෙරමුණේ අපට පැවරී තිබුණා. ඒ බලවේගය සංවිධානය කිරීම අද මල්ඵල ගැන්වී තිබෙනවා. 2001 අපේ භික්‍ෂු පෙරමුණ ගොඩනඟන කොට හතු පිපෙන්නා වාගේ වූ භික්‍ෂු සංවිධාන කොපමණ තිබුණද? අද ඒ කිසිවක් නැහැ. පටු අපේක්‍ෂා, පටු ලාභ ප්‍රයෝජන ඔස්සේ ගිය ඒ සංවිධාන ඔවුන්ගේ ආයු කාලය නිමා කර පාෂාණීභූත වෙලා තිබෙනවා. ශ්‍රී ලාංකීය සමස්ත භික්‍ෂු සංඝයා වැළඳ ගත් සංවිධානය ජාතික භික්‍ෂු පෙරමුණ පමණයි. මේ රට විනාශ කළ කණ්ඩායම් පාෂාණීභූත වෙද්දී, සමාජයත් සමඟ ඉදිරියට යන්න සමස්ත භික්‍ෂුන් වහන්සේලා සංවිධානය වී තිබෙනවා. මේ අවස්ථාවේ සියලුම නිකායන්හි මහානායක හිමිපාණන් වහන්සේලාගේ නියෝජනයන් මෙතැනට වැඩම කොට සිටිනවා. ඉතිහාසයේ කවදාවත් නොවුණු ආදරණීය සහ ලෙන්ගතු කල්‍යාණ මිත්‍ර අනුශාසනාවන් උන් වහන්සේලාගෙන් අපට මේ සද්කාර්යය වෙනුවෙන් ලැබුණා. ලිච්ඡවි රාජ්‍ය ප්‍රතිපත්තිය අනුගමනය කරන බවට විවිධ අය කටමැත දෙඩවූවාට ඔවුන් ජාතික ජන බලවේගයේ ජන ප්‍රවාහයට අවලාද නැඟීම නතර කරන්න ඕනෑ. විදේශීය හාමුදුරුවන් වහන්සේලා පවා මෙතැනට වැඩම කොට සිටිනවා. ඔබ වහන්සේලා වැඩම කළේ මේ මහා සංඝරත්නය අපේක්‍ෂා කළ ජනතාවාදී නායකයා ලෙස අනුර දිසානායක මැතිතුමා ඒකාන්තයෙන්ම එළැඹෙන ජනාධිපතිවරණයෙන් විජයග්‍රහණය කොට ජනතාවාදී නායකයෙක් පත් කර ගන්න සෙත් පතන්නයි.”

Facebook
Twitter
LinkedIn