ජනතාවගේ දුක වේදනාව හඳුනන අනුර සහෝදරයා රටේ ජනාධිපති කළ යුතුම යැයි ප්‍රවීණ රංගන ශිල්පී බුද්ධදාස විතානාරච්චි අවධාරණය කරයි.
ඔහු මේ බව අවධාරණය කලේ පසුගිය 20 වනදා ගල්ගමුවේදී පැවති ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලිය අමතමිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ප්‍රවීණ රංගන ශිල්පී බුද්ධදාස විතානාරච්චි,
“ඕට්‍රේලියාවේ පහුගිය කාලේ ඉඳලා මම ආවේ, අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති කරවන්න කියලා මේ රටේ යුක්තිසහගත මිනිසුන්ගෙන් ඉල්ලා සිටින්නයි. මට ඊට සුදුසුකම් හොඳට තිබෙනවා. ඔබ සියලු දෙනා ශාප කරන 76 අවුරුද්දේ මම ජීවත්වෙලා තියෙනවා. ඒ නිසා පසුගිය දශකවල ලංකාවේ සියලු අත්දැකීම් මම අත්විඳලා තියෙනවා. මම 1965 ඉඳන් ඡන්දය පාවිච්චි කරලා තියෙනවා. තුන්වේල කන්න නැති රටක්, බංකොලොත් රටක්, ලෝකෙට ණය වෙච්ච රටක්, දහ අතේ ණය වෙමින් අභිමානය ගැන කථා කරන මෝඩ පාලකයන් ඉන්න රටක් අපිට උරුම වුණේ ඇයි කියලා මම කල්පනා කළා.
ඇයි මම ජාතික ජන බලවේගයට ඡන්දය දෙන්නේ? ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයාව ජනාධිපති කරන්න ඕනෑ නිසයි. මම 1982 අවුරුද්දෙ කථා කළේ රෝහණ විජේවීර සහෝදරයා දිනවන්න. අපි පැරදුණා. හැබැයි අවුරුදු 42ට පස්සේ අපි මේවර ස්ථිර වශයෙන්ම අපේ පංතියේ මිනිහෙක්ව අපේ පාලකයා බවට පත්කරනවා. ජනතාව ලොකු වැරැද්දක් කළා. මේ අවුරුදු 76දීම ඔබලා, පාලකයා ලෙස පත් කර ගත්තේ අපේ පංතියේ මිනිහෙක් නොවෙයි. විවිධ පක්ෂවලින් විවිධ පාටවලින් විවිධ පංතිවලින් නායකයෝ ආවාට ඔබලාගේ වුවමනාව ඉෂ්ට වුණේ නැහැ. ඔබලා තෝරා ගත්තේ ප්‍රභූ යැයි සැලකූ පුද්ගලයන්. දැන් එය වෙනස් කළ යුතුයි. මහ පොළොවත් එක්ක හැප්පෙන, ඔබගේ රැහේ එකෙක් පත් කර ගන්න අවස්ථාව එනවා ලබන 21 වැනිදාට.
1982 සිට මේ දක්වා ඔබගේ ඡන්දයෙන් ගිය මිනිස්සු ‘උතුමාණන්ලා’ වුණා. ‘ශ්‍රීමතාණන්ලා’ වුණා. සිංහාසන හදා ගත්තා. රජවරු බවට පත් වුණා. අපි අපේ පංතියේ මිනිහෙක් පාලකයා බවට පත්කර නොගත්ත නිසා තමයි මේ ශාපයට ප්‍රධාන හේතුවක් වුණේ. ඒ නිසා මහජන ආණ්ඩුවක් ඇතිකර ගන්න නම් ඔබ අතරම ඉපදුණු, ඔබලා වගේ දුක්වින්ද, ඔබලාගේම පංතියේ දුක වේදනාව හඳුනන අනුර කුමාර දිසානායක සහෝදරයා රටේ ජනාධිපති කළ යුතුමයි. 1982 සිට මේ රට පාලනය කළ හැම ජනාධිපතිවරයෙක්ම මම පෞද්ගලිකවත් දන්නවා. රූපවාහිනී නිවේදකයෙක් හැටියට කටයුතු කළ නිසයි ඔවුන් කළ අපරාධ, දූෂණ, හොරකම් මම හොඳට දන්නේ. අතීතයට ශාප කිරීමෙන් අපේ තිබෙන ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. අතීතයේ අපේ තිබූ අමනකම්, මෝඩකම්වලින් පාඩම් ඉගෙන ගෙන මේවර වඩා බුද්ධිමත්, නිවැරදි අදූෂිත පාලකයෙක් පත්කර ගන්න අපි තීන්දු කරන්න ඕනෑ. මේ වන විටත් ජාතික ජන බලවේගයට එකතු වුණේ නැති, හිතවත් නැති සහෝදර සහෝදරියන්ටත් මම යමක් කියන්න ඕනෑ. මේ රට මේ විදිහට විනාශ කිරීම ඇරඹුනේ 1977න් පසුයි. ධර්මිෂ්ඨ සමාජයක් හදන්න කතා කරලා ධර්ම චක්‍රය පොලීසියේ ලාංජනය කරලා අන්තිමට ධර්ම චක්‍රයේ දාලා ඔබගේ දරුවෝ 60,000ක් පමණ මේ පාලකයෝ විනාශ කර දැම්මා.
1981 සංවර්ධන සභා මැතිවරණයේදී යාපනයේ පුස්තකාලට ගිනි තිබ්බා. එතන හිටපු ඇමතිවරුන්ගෙන් එක්කෙනෙක් විතරක් දැන් ජීවතුන් අතර ඉන්නවා. එයා තමයි දැන් මේ රටේ ජනාධිපති. යාපනයේ අයට ඒක අමතක වෙලා නැතුව ඇති. අනෙක් එක්කෙනා ගැන කතාකරලත් වැඩක් නැහැ. නොමේරූ මනසක් ඇති ළාමක ළදරුවෙක් වගේ කෙනෙක් එයා. ජනාධිපතිකමට කියා ප්‍රාදේශීය සභා මන්ති්‍රීකමටවත් සුදුසු නැහැ.
පාර්ලිමේන්තුවේදී හිටපු ජනාධිපතිවරයෙක් ‘බැංකු හොරා’ කියලා දැන් ඉන්න ජනාධිපතිට කියන කොට දැන් කෙනා අනෙක් පැත්තට කියනවා ‘කවුද හොරා’ කියලා. එහෙම චෝදනා කර ගත්ත අය දැන් එකට වේදිකාවේ. මොන විහිළුද මේවා? ලබන සැප්තැම්බර් 21දායින් පසු අපේ අපේක්ෂකයා දිනනවාමයි. 22 වෙනිදා වෙන විට ජනාධිපති වෙනවාමයි. ඒක ස්ථිරයි.”












