‘නාමල්ගේ සමාගම සැක ගනුදෙනුවල’ මැයෙන් පසුගිය සතියේ ලියූ ලිපිය අවසන් කරන ලද්දේ ‘මෙම සැකය තවදුරටත් වර්ධනය කරන්නේ නාමල් රාජපක්ෂගේ NR කන්සල්ටන්ට්ස් සමාගමේ නාමල් රාජපක්ෂ සතු රුපියල් 10ක එක් කොටසක් වූ එම සමාගමේ කොටස් අයිතිය 2013 ඔක්තෝබර් 25 දින බංග්ලාදේශයේ ඩකා නගරයේ, අහමඩ් අල් ෂමාස් නමැත්තාට පවරාදීම නිසාය. ඉහත කරුණු සැලකිල්ලට ගෙන ඒ ඇයි ද යන්න ආපස්සට සෙවීම දූෂණ – වංචා සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක ආයතනවල වගකීම බව අපි අවධාරණය කරමු’ යනුවෙන් අවධාරණය කරමින්ය.
මේ ගැන හොයන දූෂණ – වංචා සෙවීමේ ආයතනවලට ඒ පරීක්ෂණ සඳහා පහසු විය හැකි තොරතුරු තවදුරටත් අපට සොයා ගැනීමට හැකිවී ඇත. සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ඇති භඍ කන්සල්ටන්ට්ස් ලිපිගොනුව අනුව මේ බංග්ලාදේශ ජාතිකයාගේ නම හා ලිපිනය සඳහන් වන්නේ Ahammad AI Zaman, House No 18, Road No 9, Baribbara Gulsman, Dhaka, Bangladesh. යනුවෙන්ය.
මෙම කොටස් අයිතිය අත්හැරීම වෙනුවෙන් විදේශ ගනුදෙනුවක් සිදුවී ඇති අතර, ඒ සම්බන්ධයෙන් තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සතුව පවතී. ඉහත එම බංග්ලාදේශ ජාතිකයාට නාමල් රාජපක්ෂ ඔහුගේ රුපියල් 10ක් වූ නාමික කොටස් අයිතිය පවරා ඇත්තේ රුපියල් මිලියන 50ක් හෙවත් රුපියල් කෝටි 05කටය. මේ විදේශ ගනුදෙනුව වෙනුවෙන් නාමල් රාජපක්ෂ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට එවකට පැවති 0.5%ක මුද්දර ගාස්තු අගය අනුව රුපියල් දෙලක්ෂ පනස්දාහක මුදලක් ගෙවා තිබේ.
ප‍්‍රශ්නය ඇත්තේ එම මුද්දර ගාස්තු ගෙවීම හා ඊට අදාළ විදේශ ගනුදෙනුව තුළය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අපගේ ආරංචි මාර්ග ප‍්‍රකාශ කරන්නේ, අදාළ මුද්දර ගාස්තු ලබාගැනීම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප‍්‍රතික්ෂේප කළ බවය. එහෙත්, ඉහළ බලපෑමක් මත අදාළ මුද්දර ගාස්තු ගෙවීම එම දෙපාර්ත්මේන්තුවට එම කාලයේදී අනුමත කරන්නට සිදුවූ බවය. මුද්දර ගාස්තු ලබාගැනීම ප‍්‍රතික්ෂේප කිරීම සඳහා එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන හේතු කිහිපයකි. එකක් මෙවැනි විදේශ මුදල් ගනුදෙනුවක් සිදුවිය යුත්තේ ශී‍්‍ර ලංකා මහ බැංකුව දැනුවත්ව ඔවුන් හරහා වීමය. ඒ අනුව විදේශයකින් මෙවැනි ගනුදෙනුවකට මුදල් එන්නේ නම් මුලින්ම එම මුදල් ශී‍්‍ර ලංකා මහ බැංකුවේ ගිණුමකට බැරවී, පසුව ශී‍්‍ර ලාංකික හිමිකරුවාට ලැබිය යුතුය. අනෙක දේශීය සමාගමක කොටස් අයිතිය විදේශිකයෙකු සතු වෙනවා නම්, එම පුද්ගලයා කවුද යන්න තානාපති කාර්යාලය හරහා තහවුරු කරගෙන තිබිය යුතුය.
එහෙත් මෙම රුපියල් කෝටි 5ක ගනුදෙනුවේදී ඒ කිසිවක් සිදුවී තිබුණේ නැත. මුදල් ඇවිත් තිබුණේ කෙලින්ම නාමල් රාජපක්ෂටය. ශී‍්‍ර ලංකා මහ බැංකුව හරහා එය සිදුවී තිබුණේ නැත. නාමල් රාජපක්ෂ පෑන් ඒෂියා බැංකුවේ ඇති ඔහුගේ ගිණුම්වල එම මුදල් තැන්පත් කරගෙන ඇත. (NR කන්සල්ටන්ට්ස් සමාගම සිය බැංකු කටයුතු පවත්වාගෙන ගොස් ඇත්තේ පෑන් ඒෂියා බැංකුව සමගය. එහි කුප‍්‍රකට අයිතිකරුවා වන්නේ ධම්මික පෙරේරාය. පහසුවෙන්ම හඳුනා ගැනීමට කිවහොත්, කැසිනෝ හිමි ධම්මික පෙරේරාය. මහින්ද රාජපක්ෂ විසින් මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්කමට පත්කරන ලද ධම්මික පෙරේරාය. ඔහුගේ බැංකුව තුළ නාමල් රාජපක්ෂට කළ නොහැකි ගනුදෙනුවක් නොමැති බව අමුතුවෙන් කිවයුතු නැත.) ඒ ශී‍්‍ර ලංකා මහ බැංකුවේ කිසිදු අනුදැනුමකින් හෝ අවසරයකින් තොරවය. සමහරවිට මෙම ගනුදෙනුව ගැන මහින්ද රාජපක්ෂ හිතෛෂී, නාමල් රාජපක්ෂ පසුපස ගිය එවක මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් පෞද්ගලිකව දන්නවා ඇත.
අනෙක මෙම කොටස් අයිතිය පැවරීමේදී ඒවා ලබාගත් බංග්ලාදේශ ජාතිකයා සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ ඔහුගේ විදේශ ගමන් බලපත‍්‍රයේ ඡුායා පිටපතක් පමණය. සාමාන්‍ය පටිපාටිය අනුව නම් එම පුද්ගලයා භෞතිකව හඳුනා ගැනිමක් හෝ තානාපති කාර්යාල හරහා හඳුනා ගැනීමක් සිදුවය යුතුය. එහෙත් ඒ කිසිවක් සිදුවී නැත. අනෙකුත් කොටස් හුවමාරු විදේශ ගනුදෙනුවලදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත්තේ පුද්ගලයා භෞතිකව හඳුනා ගැනීමෙන් පසුවය.
නාමල් රාජපක්ෂගේ NR කන්සල්ටන්ට්ස් පෞද්ගලික සමාගමේ කොටස් අයිතිය, ලියවිලි අනුව එනම් බංග්ලාදේශ ජාතිකයෙකුට මාරු වූවාට රාජපක්ෂවරුන්ට එහි ප‍්‍රශ්නයක් නොවන බව පෙනෙන්නේ කරුණු කිහිපයක් නිසාය.
එකක් NR කන්සල්ටන්ට්ස් සමාගමේ එක් අධ්‍යක්ෂවරියක වශයෙන් කටයුතු කරන සුදර්ශා බණ්ඩාර ගනේගොඩගේ ලිපිනය වශයෙන් සඳහන් වන්නේ අංක 175/2, පරණ කැස්බෑව පාර, මිරිහාන, නුගේගොඩ යන මහින්ද රාජපක්ෂගේ ලිපිනය වීම නිසාය. අනෙක NR කන්සල්ටන්ට්ස් සමාගමේ ලේකම්වරුන් වශයෙන් 2015 ජනවාරි 16 දින සිට ගවර්ස් සෙක‍්‍රටේරියල් සර්විසස් නමැති ආයතනයක් පත්වන නිසාය.
මේ ගවර්ස් සෙක‍්‍රටේරියල් සර්විසස් සමාගම ගවර්ස් කෝපරේට් සර්විසස් පෞද්ගලික සමාගමේ ම අනුබද්ධ සමාගමක් බව පෙනේ. සමාගම් මැදුරේ ඇති ලියවිලි අනුව ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගම සමාගම් ලේකම්වරුන් වශයෙන් කටයුතු කිරීම සඳහා ඔවුන්ගේ අරමුණු වෙනස් කරන්නේ 2013 නොවැම්බර් 25 දිනය. ඒ බංග්ලාදේශ ජාතිකයා හා සිදුවූ ගනුදෙනුවෙන් පසුය. මෙම ගවර්ස් කෝපරේට් සර්විසස්හි අධ්‍යක්ෂවරියක වන්නේ අංක 66, උයන, මොරටුවෙහි නිත්‍යා සේනානි සමරනායකය. ඇය NR කන්සල්ටන්ට්ස්හිද අධ්‍යක්ෂවරියකි. එමෙන්ම ගවරස් කෝපරේට්හි රුපියල් 10/ක නාමික අගයෙන් යුත් කොටස් 100 හි හිමිකරුවා වන්නේ නාමල් රාජපක්ෂගේ NR කන්සල්ටන්ට්ස් සමාගමය.
ඒ අනුව ලියවිලිවල සඳහන් පරිදි සැබෑ ලෙසම මෙම ගනුදෙනු සිදුවී තිබුණේ නම්, නාමල් රාජපක්ෂගේ NR කන්සල්ටන්ට්ස් කොටස් අයිතිය තිබූ ගවර්ස් කෝපරේට්හි අයිතිය ද ඉහත කී බංග්ලාදේශ ජාතිකයාට හිමිවී තිබිය යුතුය. ඒ වත්මනේ නොව, 2013 වර්ෂයේ ඔක්තෝබර් 25 දින සිටමය. එම කාලය තුළ NR කන්සල්ටන්ට්ස් මෙන්ම ගවර්ස් කෝපරේට් ශී‍්‍ර ලංකාව තුළ සිදුකළ ගනුදෙනු හෝ කි‍්‍රයාකාරකම්වලින් උපයා ගත් ලාභය එක්කෝ එම සමාගම්හි ගිණුම්වල තිබිය යුතුය. නැත්නම් ලියකියවිලිවල සඳහන් අයිතිකරු වූ බංග්ලාදේශ ජාතිකයා සතු දේශීය ගිණුමක හෝ තිබිය යුතුය. එසේත් නැතිනම් එම බංග්ලාදේශ ජාතිකයා එම මුදල් නීත්‍යානුකූලව මෙරටින් රැගෙන ගිය බවට ශී‍්‍ර ලංකා මහ බැංකුව සතුව සාක්ෂි තිබිය යුතුය.
මෙම කරුණු සොයා ගැනීම මූල්‍ය අපරාධ පිළිබඳ පරීක්ෂණ පවත්වන ආයතනවලට අමාරු නැත. වුවමනා වන්නේ සැබෑ වුවමනාවක් පමණය. නාමල් රාජපක්ෂගේ NR කන්සල්ටන්ට්ස් විසින් පෑන් ඒෂියා බැංකුව තුළ පවත්වාගෙන ගිය බැංකු ගිණුම් කිහිපයක තොරතුරු අප සතුව පවතී. එම බැංකු ගිණුම් අංක වන්නේ 033693242113, 033693240215, හා 033693240118 යන ඒවාය. මෙම බැංකු ගිණුම් හරහා දේශීය වශයෙන් සිදුකළ රුපියල් ගනුදෙනු පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් සිදුකළ ඩොලර් ගනුදෙනුද සිදුවී ඇති බව සැකකරන්නට හේතු වූ කරුණු ද අප සතුව පවතී. ඒ NR කන්සල්ටන්ට්ස් සතුව තිබූ ඇමෙරිකානු ඩොලර් 58000ක ස්ථාවර තැන්පතුවක් ගවර්ස් කෝපරේට් සමාගමේ ඇමෙරිකානු ඩොලර් ස්ථාවර තැන්පතුවට මාරු කරන ලෙසට NR කන්සල්ටන්ට්ස් සමාගම විසින් පෑන් ඒෂියා බැංකුවට කරන ලද ලිඛිත දැනුම්දීමය. එම දැනුම්දීම සිදුකර ඇත්තේ 2013 ජූනි 12 වැනි දින සහිතවය. දේශීය වශයෙන් සිදුවන ගනුදෙනුවලදී (දේශීය පුද්ගලයන්ට සේවා සැපයීමේදී) හුවමාරුවන්නේ ශී‍්‍ර ලංකා රුපියල් වන අතර ඇමෙරිකානු ඩොලර් ලැබීමට නම් එම ගනුදෙනු ජාත්‍යන්තර ගනුදෙනු විය යුතුය. ඇමෙරිකානු ඩොලර් ස්ථාවර ගිණුම් පිළිබඳ ඉහත සඳහන් ලිපිය හුවමාරු වන්නේ NR කන්සල්ටන්ට්ස් සමාගමේ නාමල් රාජපක්ෂ සතු රුපියල් 10ක නාමික අගය සහිත කොටස රුපියල් කෝටි පහක මුදලකට බංග්ලාදේශ ජාතිකයාට විකිණීමට පෙර වන අතර, ඒ අනුව ඔහු ඇමෙරිකානු ඩොලර්වලින් එම මුදල් ගෙව්වත් ස්ථාවර තැන්පතුවල ඇති ඇමෙරිකානු ඩොලර් එම මුදල් විය නොහැකිය. මන්ද එම මුදල රුපියල් කෝටි පහකට වඩා අඩු මුදලක් වන බැවින්ය.
විදේශීය ආයතනයක් හෝ පුද්ගලයෙකු සමග නාමික ගනුදෙනු සිදුවන්නේ කළු සල්ලි සුදුකිරීම සඳහා මෙතෙරින් එතෙරට යැවීමට හෝ එතෙරින් මෙතෙරට එවීම සඳහා වන අතර ලංකාවේ ඇති ශී‍්‍ර ලාංකිකයන් පවා නොදන්නා නීති උපදේශන සමාගමක් බංග්ලාදේශ ජාතිකයෙකුට මිලදී ගැනීමට වුවමනා වන්නේ අහවල් කෙංගෙඩියට ද යන ප‍්‍රශ්නය අපට එහිදී පැන නගී. එම නිසා මෙම ගනුදෙනුව කළු සල්ලි සුදුකර එතෙර මෙතෙර කිරීමේ ජාවාරමක නාමික ලියවිලි වෙනස් කිරීමක් යන්න ද බැහැර කළ නොහැකි සැකයකි.
එම නිසාම නාමල් රාජපක්ෂගේ NR කන්සල්ටන්ට්ස් පිළිබඳව හා ඒ ආශී‍්‍රතව සිදුවී ඇති ගනුදෙනු පිළිබඳව පරීක්ෂණ සිදුකිරීම අත්‍යවශ්‍ය වන අතර එහිදී එම විදේශ මුදල් ගනුදෙනු සිදුවෙද්දී පෑන් ඒෂියා බැංකුව මෙන්ම ශී‍්‍ර ලංකා මහ බැංකුවද එම ගනුදෙනු නොදැක්කා සේ කටයුතු කර තිබීම ගැනද පරීක්ෂණ සිදුකිරීම අත්‍යවශ්‍යය.
උපුටාගැනීම රාවය පුවත්පත
ආශ්‍රිත පුවත්








