ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඉරාන විදේශ ඇමති හොසේන් අමීර්අබ්දුල්රහීන් ගමන් කළ හෙලිකොප්ටර් යානය අනතුරට පත් වී ඇතැයිද යානය අනතුරට පත් වූ ස්ථානය හෝ එහි ගමන් ගත් පිරිස පිළිබඳ මෙතෙක් වාර්තා වී නැතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
යානයේ දෝෂයක් හට ගත් බැවින් එය හදිසියේ ගොඩබෑමට නියමුවන් උත්සහ කළ අවස්ථාවේදී එය අනතුරට පත් වුණු බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි. යානය කඩා වැටෙන්න ඇතැයිද සැක කෙරේ.
යානය අනතුරට පත්වුණු ස්ථානය සොයා කඩිනමින් මෙහෙයුම් ආරම්භ කෙරුණු නමුත් තවමත් එම ස්ථානය නිවැරදිව සොයා ගැනීමට හැකි වූයේ නැතැයි ඉරාන අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
අධික මීදුම සහිත අයහපත් කාලගුණය හේතුවෙන් කඳුකර ප්‍රදේශයකට එම යානය හදිසියේ ගොඩබා තිබුණි.
ජනාධිපතිවරයා ඇතුළු පිරිස සිටින ස්ථානයට මෙතෙක් කිසිවෙකුට ළඟාවීමට නොහැකිවී ඇති අතර ඔවුන්ව බේරා ගැනීමේ මෙහෙයුම් සඳහා ඉරාන සන්නද්ධ හමුදා, කමාන්ඩෝ ඒකක ඇතුළු කණ්ඩායම් 40ක් මේ වනවිට ක්‍රියාන්විතයට එක්ව සිටිති.
ඉරාන ජනාධිපති රයිසි ඇතුළු එරට ඉහළ නිලධාරීන් පිරිසක් ඉරාන – අසර්බයිජාන දේශසීමාවේ වේල්ලක් විවෘත කිරීමට අද (19) එක්ව තිබුණි. ඔවුන් එම අනතුරට මුහුණ දී ඇත්තේ එම උත්සවයෙන් පසු ඉරාන ජනාධිපති ඇතුළු පිරිස රැගත් හෙලිකොප්ටර් යානය යළි පැමිණෙමින් තිබියදීය.
මේ වනවිට ඉරාන ජනතාව සිය ජනාධිපතිවරයා වෙනුවෙන් යාඥා කිරීමද ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.









