ත්‍රස්තවාදය ත්‍රස්තවාදයමයි වර්ග කළ නොහැකියි – පූටින්

ත්‍රස්තවාදය වර්ග කළ නොහැකි බවත් එසේම මධ්‍යස්ථ සහ අන්තවාදී ලෙස ත්‍රස්තවාදය බෙදිය තමන්ට පිළිගත නොහැකි බවත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් සෝචි නුවර පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබේ. සිරියාවේ වත්මන් තත්වය පිළිබඳව අදහස් දැක්වීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්වී තිබේ.

එම සාකච්ඡාවේදී පූටින් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ  සමහර රටවල් දෙබිඩි රංගනයක යෙදෙමින් ත්‍රස්තවාදයට එරෙහිව සටන් කරන අතර තම රටේ උවමනාවන් වෙනුවෙන් ත්‍රස්තවාදය උපයෝගී කරගන්නා ආකාරය ඉතා පැහැදිලිව හඳුනාගත හැකි බවයි. මධ්‍යස්ථ බව හුවා දක්වමින් විරුද්ධ  පක්ෂ අතට ලබා දුන් අවි ආයුධ අවසානයේදී ත්‍රස්තවාදීන් අතට පත්වී නතර වන බවය. එසේම තමන් අකමැති පාලනයන් පෙරළා දැමීම සඳහා ත්‍රස්තවාදය යොදාගනිමින් ක්‍රියා කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බව පවසයි.

සිරියාව තුළ රුසියානු හමුදාව දරන ප්‍රයත්නය සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල කර්තව්‍යයක් බවත් රුසියානු හමුදා මෙහෙයුම් සිදුකරන්නේ සිරියානු ආණ්ඩුවේ ඉල්ලීම මත බව පවසන පූටින් පොදුවේ බලපාන ප්‍රශ්න විසඳ ගැනීමේ එක් පූර්වාදර්ශයක් ලෙස සිරියානු තත්වය ගත හැකි බව ප්‍රකාශ කර තිබේ. අයි.එස්. ත්‍රස්තාවාදීන්ට එරෙහිව සිදුකරන අරගලය සාර්ථක කර ගැනීම සඳහා ඔවුන්ගේ මර්මස්ථාන පිළිබඳ තොරතුරු හුවමාරුවක් ත්‍රස්තවිරෝධී පාර්ශවයන්ට අවශ්‍ය වන බව පවසන පූටින් ඒ සඳහා බටහිර යහපත් ප්‍රතිචාරයක් දක්වනු ඇතැයි බලාපොරොත්තු වන බව පවසයි.

 

මේ වනවිට සිරියාව තුළ රුසියානු හමුදාව සිදුකළ මෙහෙයුම් දෙසතියක් ඉක්ම ගොස් ඇති අතර රුසියානු ගුවන් ප්‍රහාරයන්ගෙන් ත්‍රස්තවාදීන්ට බරපතල හානි සිදු වී තිබේ. ඇමෙරිකානු හමුදාව මාස ගණනාවක් අයි.එස්. ත්‍රස්තයන්ට ප්‍රහාර එල්ල කරන බවට දැවැන්ත ප්‍රචාරයක් ගෙන ගියත් මේ වනවිට තහවුරු වන්නේ ඇමෙරිකාව විසින් සිදු කර ඇත්තේ ඇමෙරිකාවට එරෙහි කණ්ඩායම් වෙත ප්‍රහාර එල්ල කිරීම බව තහවුරු වී තිබේ.

Facebook
Twitter
LinkedIn