මොකද වුනේ…? හැටදාහේ කතාව…

මොකද වුනේ…? හැටදාහේ කතාව…

1977 ජූලි මහ මැතිවරණයේදී එතෙක් බලයේ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජය වී ජේ.ආර් ප‍්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය 5/6ක බලයක්, පාර්ලිමේන්තුව තුළ ලබාගත්තා. වර්තමාන ජනාධිපති රනිල් වික‍්‍රමසිංහත් ඒ පාර්ලිමේන්තුවට ඇතුළත් වුණා. (ජේ.ආර්ගේ බෑනා.) රනිල් වික‍්‍රමසිංහ බියගම ආසනයෙන් තරගකර තමයි පාර්ලිමේන්තුවට එන්නේ.

මේ 77 මැතිවරණය නැවතත් කරලියට ඇවිත් තිබෙනවා. ඒ 60,000ක් ජනතාව ජනතා විමුක්ති පෙරමුණ මරදැමුවා කියමින්. පසුගිය දිනෙක යූටියුබ් නාලිකාවක ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඒ සම්බන්ධව පිළිතුරු දී තිබුණා. 77 වනවිට මට වයස අවුරුදු 10යි. මේ කාලෙදි මම දැක්ක පළමුවැනි මැතිවරණ ප‍්‍රචණ්ඩ ක්‍රියාව තමයි, එදා මැතිවරණ ප‍්‍රතිඵල නිකුත් වුණාට පසුදින පළමුවැනි මැතිවරණ ප‍්‍රතිඵලය ආවේ අංක 100 සමන්තුරේ ආසනයෙන්. එතැන් සිට දෝරේ ගලනවා වගේ එක්සත් ජාතික පක්ෂය ජයග‍්‍රහණය කරමින් තිබුණේ. කැලණිය ප‍්‍රදේශයේ නුවර පාරේ ටයර් සංස්ථා හන්දියේ සිට කැලණියේ නුංගමගොඩ හන්දිය අතර පැරගන් කියා හෝටලයක් තිබුණා, තවමත් තිබෙනවා. අද පැරගන් හෝටලය කුඩා හෝටලයක්. එහි හිමිකරු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක්. මැතිවරණ ප‍්‍රතිඵල නිකුත් වුණු උදෑසන නුංගමගොඩ පාරේ පැරගන් මුදලාලිව කොළපාට මල්මාලා දමා ඒ පාර දිගේ ටයර් සංස්ථාව පැත්තේ සිට පැරගන් හෝටලය දෙසට රැගෙන ගියා. ඔහු සමාජයේ ලොකු කුඩා හැමෝම සමග සමගියෙන් ආදරයෙන් සිටි කෙනෙක්. නමුත් එදා ඔහුව අවඥාවට පත්කරමින්, ඔහුට විරෝධය දක්වමින් ඔහු පිටුපසින් ගියේ ජේ.ආර් ජයවර්ධනලාගේ ඡන්ද ව්‍යාපාරවල යෙදුණු අයම තමයි. ඒ අවස්ථාවේ කැලණිය ආසනය ජයග‍්‍රහණය කළේ සී. සිරිල් මැතිව්. ඔහු කර්මාන්ත හා විද්‍යා කටයුතු ඇමති වුණා. සී. සිරිල් මැතිව්ගේ පුතා තමයි නන්ද මැතිව්. ඇඹිලිපිටියේ ශිෂ්‍යයන්ව මරා දමන විට දේශපාලන නායක අධිකාරිත්වය දැරුවේ නන්ද මැතිව්.

ජේ.ආර් ජයවර්ධනලා 77 මැතිවරණයේ ජයග‍්‍රහණයෙන් මිනිසුන්ට මේ සා විශාල හානියක් කරමින්, දේපළ ගිනිතබමින්, කඩ කඩමින් තිබෙන අතර තුර පොලිසිය සිටියේ අතපය බැඳගෙන. සාමාන්‍යයෙන් කියන්නේ ජේ.ආර් පොලීසියට සති දෙකක් නිවාඩු දුන්නයි කියා. 1977 මැතිවරණය ජයග‍්‍රහණය කර ඉතා කෙටි කාලයකට පස්සේ 78 මාර්තු 16 දා කැලණිය විශ්වවිද්‍යාලයට පිටස්තර කණ්ඩායමක් කඩා වදිනවා. ඒකෙ නායකත්වය ගත්තේ ක්‍රිස්ටෝපර් ජයතිලක. මේ කණ්ඩායම ශිෂ්‍යයන්ට හිතූ හිතූ අත ගහන්න පටන් ගන්නවා. මැරයෝ නුවර පාර දිගේ ශිෂ්‍යයන්ට එලව එලවා පහර දෙන්න පටන් ගත්තා. මැරයන් අතර සාමාන්‍ය ගිනි අවි, තියුණු ආයුධ තිබුණා. ශිෂ්‍යයන් ගුටි කමින් නිකම් ඉන්න සූදානම් නැති අය. ඔවුන් මැරයන්ට පෙරළා පහර දෙන්න පටන් ගන්නවා. මැරයෝ හිස්ලූ ලූ අත දුවන්න පටන් ගත්තා. ඒ පහරදීමේදී ක්‍රිස්ටෝපර් ජයතිලක මිය යනවා. ඒ කාලයේ සමසමාජ පාක්ෂිකයෙක් වුණු බද්දේගම සමිත හිමියන් අත්අඩංගුවට ගත්තා. අවුරුදු දෙකක් පමණ බන්ධනාගාර ගතවී සිටියා. පසුව උන්වහන්සේ නිදොස් කොට නිදහස් වෙනවා. කිසිදු ශිෂ්‍යයෙක් උන්වහන්සේට විරුද්ධව සාක්ෂි කිසිවක් දුන්නේ නැහැ. ක්‍රිස්ටෝපර් මැරෙන්නේ මාර්තු 16දා. මාර්තු 19දා ඔහුගේ අවමගුල් උත්සවය තිබුණාරාජ්‍ය නායක ජේ.ආර් ජයවර්ධන ක්‍රිස්ටෝපර්ගේ මළ ගෙදරට යනවා. ඔහු එහිදී කියනවා ක්‍රිස්ටෝපර් ජයතිලක කියන්නේ ජාතික වීරයෙක් කියා. එතැනින් පටන් ගත්ත 1978 පටන් ගත් එක්සත් ජාතික පක්ෂයේ වියරු භීෂණය, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී වියරු භීෂණය එකදිගටම ආවා. 1980 වැඩවර්ජනය, පඩි වැඩිකරන ලෙස ඉල්ලූ කම්කරුවන්ට, පෞද්ගලික අංශයේ සහ රාජ්‍ය අංශයේ කම්කරුවන් ලක්ෂ ගණනකගේ රැුකියාවන් අහිමිකර, ජීවිත විනාශ කර දැමුවා. ලලිත් ඇතුලත්මුදලි කිව්වේ ”පඩි වැඩිකරන ලෙස ඉල්ලූ කම්කරුවන් කනත්තට දක්කන්න ඕනෙ” කියලා. පසුකාලෙක ඔහු එක්සත් ජාතිපක්ෂයෙන් කැඩී ඇවිත් ප්‍රේමදාසට විරුද්ධව ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් ජනතා පෙරමුණ හැදුවාට පස්සේ ඔහු කිව්වේ ”මම කිව්වේ ඒ අයව දේශපාලන කනත්තට දක්කන්න ඕනෙ” කියලා කියමින් වචන වෙනස් කළා.

80 ජූලි වර්ජනයට කොයිතරම් මැර ප‍්‍රහාර එල්ල කළාද, කොයිතරම් පහර දුන්නාද. එක රැයින් එක පෑනෙන් ජේ.ආර් එක්ලක්ෂ දාහතරදාහක රැකියා අහිමි කරනු ලැබුවා. 1981 සංවර්ධන සභා මැතිවරණයේදී මැතිවරණ ඉතිහාසයේ නිර්ලජ්ජිත ඡන්ද පෙට්ටි මංකොල්ලයක් ඇස් පනාපිට සිදුකළා. ඒ සඳහා යාපනයට කරපු විනාශය පසුගිය දිනවල ඔබ දැක්කා, ඇසුවා. එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රමුඛ පෙළේ නායක ගාමිණී ජයවික‍්‍රම පෙරේරා, රනිල් වික‍්‍රමසිංහ, ගාමිණී දිසානායක, ෆෙස්ටස් පෙරේරා වැනි අය යාපනයේ පුස්තකාලය, යාපනයේ දේපළ ගිනි තබද්දී, ඡන්ද මංකොල්ල කද්දී, එතන සිටියා කියලා, එස්.ඩී බණ්ඩාරනායක පාර්ලිමේන්තුවේදී කරන ලද ප‍්‍රකාශ අනුව හැන්සාඩ් ගතවී තිබෙනවා. 1977දී 5/6ක බලයක් අරගත් ජේ.ආර් ජයවර්ධන ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මළගම ආරම්භ කළේ මේ ආකාරයෙන්. මේ සංවර්ධන සභා මැතිවරණය ඉතාමත් දරුණුයි. නරකයි. අවසානයේ අවුරුදු 30ක යුද්ධයක් දක්වා ඇදී යන්න මේක එක්තරා දුරකට හේතුවක් වුණා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවර්ධන සභා මැතිවරණයට තරග නොකළත්, ජනතා විමුක්ති පෙරමුණ තරග කළා. සමහරු සංවර්ධන සභා මන්ත්‍රීවරු ලෙස තේරී පත්වුණා. ජේආර්ලා තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලා අලුත් කඩේ උසාවිය ඉස්සරහා ”දෑස් නොපෙනෙන” ජනයා කරපු උද්ඝෝෂණයට මැරයන් ලවා පහර දුන්නා. ඒ අය දේශපාලන පාක්ෂිකයෝ නොවෙයි. විවියන් ගුණවර්ධන ප‍්‍රමුඛ කාන්තා පෙළපාළියකට එක්සත් ජාතික පාක්ෂිකයන් මැර පහර එල්ල කරනවා. එහි ප‍්‍රතිඵලයක් ලෙසට විවියන් ගුණවර්ධන නඩු යනවා. අද රනිල් වික‍්‍රමසිංහව ජනාධිපති කරන්න අත උස්සන අගමැති දිනේෂ් ගුණවර්ධනගේ නැන්දා. මේ පහර දීම සම්බන්ධයෙන් නඩු තීන්දුව දෙනවා. ජේආර්ගේ මැර කණ්ඩායම් ඒ නඩු තීන්දුව දුන් විනිශ්චයකාරවරුන්ගේ ගෙවල් ඉදිරිපිටට ගොස් ”හූ කියා ගල් ගස්සවනවා.” ඒ වගේම ගම්පහදී පැවිදි හඬ භික්ෂු සංවිධානයේ හමුවකට ජේආර්ගේ මැරයන් පහර දෙනවා. ඒ වගේම ජේආර්ගේ ආණ්ඩුව, මහනුවර ගැටඹේ පන්සල් වටකරලා කම්බි ගහනවා. ඒ වගේම සෝභිත හාමුදුරවන් ඉන්න තැනකදී, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රට කාණු පල්ලේ දමා මැරයන් ලවා ගස්සවනවා. ගෝනවල සුනිල් තරුණියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් සිරගත වූ පුද්ගලයෙක්. ජේආර් ඔහුට ජනාධිපති සමාව දෙනවා. පසුව ඔහුට මුළු දිවයිනටම බලපාන විදිහට සමාදාන විනිශ්චයකාර ධුරයක් දෙනවා. රනිල් වික‍්‍රමසිංහගෙන් අභිෂේක ලත් මැරයා බවට පත්වුණු අයෙක් ගෝනවල සුනිල්. 1983 කළු ජූලිය ඇති කරපු ජේ.ආර් ජයවර්ධනලාගේ ආණ්ඩුව වැලිකඩ බන්ධනාගාරයේ හිටපු දෙමළ සැකකාර තරුණයන්ව මරා දාන්න යන කණ්ඩායමේ ගෝනවල සුනිල් හිටපු බවට දැන් තොරතුරු ලැබී තිබෙනවා.

විධායක ජනාධිපතිවරයෙක් පත්කර ගැනීමට පැවැත්වූ පළමුවැනි ජනාධිපතිවරණය, 1982 ජනාධිපතිවරණය, එයට ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර අපේක්ෂකයෙක් හැටියට තරග වැදුණා. මෙහිදී ජේ.ආර් ජයවර්ධන, රෝහණ විජේවීර, හෙක්ටර් කොබ්බෑකඩුව තරග වැදුණා. ජනාධිපති අපේක්ෂකයාගේ ඡන්දය පවා හොරට දැමු අවස්ථාවක් වුණා, මේ මැතිවරණය.

ඉන්පසු 1983 කළු ජූලිය ඇති කරනවා. මෙය අහම්බයක් නොවේ. ජේආර්ගේ පහළ නායකයෝ කොළඹ නගරයේ දෙමළ කඩ සාප්පු හිමියන්, දෙමළ වෛද්‍යවරු, ඉංජිනේරුවන්, කීර්තිධර දෙමළ ජනයාව මරා දමනවා. ඔවුන්ගේ දේපොළ මංකොල්ල කනවා. ජනක ජයසිංහ මාධ්‍යවේදීයා කියනවා කුඩා කාලයේ රත්මනාල ප‍්‍රදේශයේ වත්තකට ඇවිත් පොලීසිය කියනවාලු ”ඇයි බලන් ඉන්නේ ගිහින් දෙමළුන්ට ගහපල්ලා” කියලා. ඒ වත්තේ සිටි ටිකක් චණ්ඩි පහේ අයියා කෙනෙක් කියනවාලු ”එකෙක් යන්නේ නෑ මේ වත්තෙන් දෙමළුන්ට ගහන්න” කියලා. හැන්දෑවෙනකොට වත්තේ අය ගහන්නේ නැතිවෙන කොට, කැස්බෑවේ ලංගම ඩිපෝවේ බස් පහර දෙන්න ආව බව. කැස්බෑවේ ඒ අවදියේ හයිරංකාරයා ගාමිණී ලොකුගේ. ලයනල් බෝපගේ සඳහන්ක ර තිබෙනවා 83 කොළඹින් පිටතට යන්න හදනකොට මග රැකපු වාහනවල ඔහුට ‘බාල්දිය’ කියන්න කිවා කියා. දෙමළ අයව හඳුනාගත්තේ එහෙම වචන උච්චාරණයෙන් තමයි. ඒ පහර දෙන්න ආව බොහෝ තැන්වල එක්සත් ජාතික පක්ෂයේ ජාතික සේවක සංගමයේ නායකයෝ හිටපු වාහන. ඒ අය ප‍්‍රවාහනය වුණේ ලංගම බස්වල. මේ තමයි 77න් පස්සේ ජේආර්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය. 82 ජනමත විචරණය ඔබට මතක ඇති. ඒ තමයි ලාම්පු – කළගෙඩි සෙල්ලම. 82 ජනමත විචාරණය කොයිතරම් දූෂිත මැතිවරණයක් වුණාද කියා අද වෙනකාට කියන්නේ මැතිවරණ කොමසාරිස්. ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර අධිකරණයේ නඩුවක් යනවා. 1971 දී ඔහුගේ ප‍්‍රතිවාදියා වුණු ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක සමග තමයි නඩුව කතා කරන්නේ. නඩුව මෙහෙයවන්න යන්නේ ප්‍රින්ස් ගුණසේකර මහතා. මේ නඩුව යන අතරතුර ජනතා විමුක්ති පෙරමුණ තහනම් කරනවා. එතැන් පටන් ජනතා විමුක්ති පෙරමුණට මර්දනයට ලක්වුණා. මේ අතරතුර ජේආර්ගේ අදූරදර්ශී විදේශ ප‍්‍රතිපත්තිය නිසා ඉන්දියාවේ රජිව් ගාන්ධිලා 1987 ජූලි ඇවිත්, ජේආර්ගේ අත මිරිකලා ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කළා. එම ගිවිසුමෙන් පසුදින එයට විරෝධය දක්වපු 147 දෙනෙක්ව කොටුවේ බෝධිය ඉදිරිපිටදී ප‍්‍රසිද්ධියේ වෙඩි තබා මරා දැමුවා. එයින් පසු දිගින් දිගටම සිදුවුණේ පැහැර ගැනීම්, අත්අඩංගුවට ගැනීම්. ජනතා විමුක්ති පෙරමුණේ අය පමණක් නොවෙයි, අනෙක් දේශපාලන පක්ෂවලටත් අත්කර දුන්නේ ඒ ඉරණමම තමයි. ප‍්‍රතිඵලය වුණේ සමාජයම එයට එරෙහිව නැගී සිටීම.

2021 දි ජනතා විමුක්ති පෙරමුණ නියමුවා ප‍්‍රකාශයනක් විදිහට නිකුත් කරන ලද 1971 ජනතා නැගිටීම සම්බනධයෙන් කරන ලද සමරු කළඹක මෙහි සඳහන් වෙනවා. රෝහණ විජේවීර මහත්මා 1974 දෙසැම්බර් පළමුවැනිදා නව මැගසින් බන්ධනාගාරයේදී ලියන ලද කවියක්,

ඇත කටුගෙයි හිස් කබළක් – ලබමින් නෙක ගරුබුහුමන්
අසන්නෙමි මෙසේ පැනයක් – එම්බා හිස්කබල, කැප්පෙටිපොළ මොනරවිල
කුමක් සඳහා මෙහි සිටින්නේද – ඇයි හිස්කබල මෙහි ඇවිත් ඉන්නේ
එරෙහිව අයුක්තියට එරෙහිව වංචාවට එරෙහිව පීඩනයට
අත්තනෝමතිකත්වයට එරෙහිව ගසන්නට කැරළි
අයිතිය මිනිසා සතු කියාපාන්නට – උරුමය ලේවල පෙන්වා දෙන්නට
දායාදය පරම්පරාගත රකින්නට සිටින්නෙමි මෙහි.

අසාධාරණයට ලක්වුණු මිනිස්සු දෑත් බැඳගෙන නිහඬව ඉන්නේ නැහැ. පීඩනයට එරෙහිව, පීඩනය පරාජය කරන්න මිනිස්සු අරගල කරනවා, සටන් කරනවා. එහෙම නැතිව ඉන්නේ නිවට නියාලු මිනිසුන් පමණයි. මේ හැටදාහේ ඉලක්කම හැදුණේ ”මව් පෙරමුණ” හැදුවාට පස්සේ මංගල සමරවීරට මුණගැසෙනවා ඇමිනෙස්ට් ජාත්‍යන්තරයේ ක්ෂමා සංව්ධානය. මේ ක්ෂමා සංවිධානය මංගලගෙන් අහනවා, ඇත්තටම කොච්චරක් මැරුවාද? කියලා. ඒ වෙලාවේ මංගල කියනවා හැටදාහක් කියලා. ඒ කොතැනකින්වත් ගණන් හදපු දෙයක් නොවෙයි. මේ ප‍්‍රමාණය ඊටත් වැඩිවිය හැකියි. මේ මරපු සෑම එකකම වගකීම තිබෙන්නේ පාලකයන්ට. අපි ශිෂ්‍යයන් විදිහට කවුරුත් අපව අන්දාගෙන ගියේ නැහැ. 1983 – 1987 අපි ඉගෙන ගන්නා කාලය. කවුරුත් අපිව මොළ හොදා රවට්ටාගෙන ගියේ නැහැ. දැනුවත්ව හා අවබෝධයෙන් ගිය ගමනක්. මගේ සමකාලීන මිතුරන්ට මම ගරු කරනවා. අපේ ගම්වල සිටි නෑයන්ට. සහෝදර සහෝදරියන්ට. පිරිමි, ගැහැනු, වැඩිහිටි ලෙස බලන්නේ නැතිව ඝාතනය කර දැම්මේ මේ පාලකයෝ. 1988-1989 කියන්නේ පෙරළා පාලකයන් අතට පත්විය යුතු චෝදනාවක්. එකල සිට මෙකල දක්වා පාලකයෝ ඒක ගලවා ගන්න, ජනතා විමුක්ති පෙරමුණ පිට දමා, බේරෙන්න, ගලවා ගන්න හදනවා. මේක තමයි පාලකයන් මාධ්‍යෙවීදීන් හරහා ජනතා විමුක්ති පෙරමුණට එල්ල කළ හැකි අන්තිම තුරුම්පුව. 1977 සිට සිදුවූ හැටදාහක් මිනිස් ඝාතනවලට වගකියන්න ඕනේ 77 බලයට පැමිණි ජේ.ආර් ජයවර්ධනගේ සිට මහපාරේ ඝාතනය වෙන රන්ජන් විජේරත්න, ආර්. පේමදාස වගේම ඊට සහයෝගය දුන්නු රනිල් වික‍්‍රමසිංහ ඇතුළත්වී ඒ සිටි පාලකයන්. ජේආර්ගෙ ආණ්ඩුවෙන් ගුටිකාපු බද්දේගම සමිත හාමුදුරුවන් සමග සිටි කැලණි කැම්පස් එකේ හිටපු අයගෙන්. සම සමාජ පක්ෂය ජනතා විමුක්ති පෙරමුණට සහයෝගය දෙන පක්ෂයක් නොවෙයි. බද්දේගම සමිත හිමි ඉන්දු- ලංකා ගිවිසුම අත්සන් කරන කොට එයට පක්ෂව ජේ.ආර් ජයවර්ධනලා සමග එකට හිටගන්නවා. මේ සිදුවීම් ලෙස ගත හොත් ඉතා පුළුල්. අපි ඉදිරියේදී තවදුරටත් පැහැදිලි කරන්නම්.

සිසිර යාපා

Facebook
Twitter
LinkedIn