ඛනිජ තෙල් කර්මාන්ත හා ස්වභාවික වායු ඇමැති චන්දිම වීරක්කොඩි හා නියෝජ්‍ය ඇමැතිනී අනෝමා ගමගේ යන අයගේ පරිහරණය සඳහා රුපියල් ලක්ෂ හයසියකට (කෝටි 6 කට) ආසන්න වටිනාකමින් යුත් බී. එම්. ඩබ්ලිව්. වාහන දෙකක් ආනයනය කිරීමට සැරසෙන බව වාර්තා වේ.
මෙම වාහන දෙක ආනයනය කිරීමට සැරසෙන්නේ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය හෙවත් සී. පී. එස්. ටී. එල්. ආයතනයේ මුදල් යොදවා ගනිමිනි. ඒ වෙනුවෙන් යහපාලන ඇමතිවරයා හා නියෝජ්‍ය ඇමතිවරිය පත් වූ පසු හදිසියේ පිහිටුවාගත් තාක්ෂණික කමිටුවේ සහ නව අධ්යක්ෂ මණ්ඩලයේ ද අනුමැතිය මෙම බී.එම්.ඩබ්ලිව්. රථ ගෙන්වීම සඳහා ලබාගෙන ඇත.
පසුගිය රජයේ ඛණිජ තෙල් විෂය භාර ඇමැතිවරුන් පරිහරණය කළ KI-2091, KI-0786, KD-2399, KH-4355 යන අංක සහිත මොන්ටේරෝ රථ හතරක් හා KD – 4078 දරන අංකය සහිත බී. එම්. ඩබ්ලිව්. රථයක් ඇමතිවරුන්ගේ පරිහරණයට තිබියදී රුපියල් කෝටි හයසියයකට ආසන්න මුදලක් යොදවා මෙලෙස සුඛෝපභෝගී රථ දෙකක් මිලදී ගැනීමට යෑම බරපතල ගැටලුවක්ව පවතී.
වත්මන් ආණ්ඩුව බලයට පත්වූයේ රාජපක්ෂ පාලනය සිදු කළ මහජන මුදල් වංචාවට, දූෂණයට, නාස්තියට තිත තැබීමට බව පවසමිනි. ජනතාවය ලබා දුන් ජනවරමින් ප්‍රකාශයට පත් වූයේද රාජපක්ෂ පාලනය ගෙන ගිය ඒ නාස්තිකාරී වැඩපිළිවෙල නතර කිරීමටය. එහෙත් මේ වනවිට සිදුවෙමින් පවතින්නේ රාජපක්ෂ පාලනය සිදු කළ සහ ගෙන ගිය වැඩපිළිවෙලම වත්මන් හවුල් පාලනයද ජනතාව මුලා කරමින් ගෙනයෑමය.
මේ වනවිට ඛණිජ තෙල් සංස්ථාව පසුගිය සමයේ සිදු කළ නාස්තිකාරී වියදම් හේතුවෙන් දැවැන්ත මූල්‍ය අලාභයක් ලබා ඇති තත්වයක පවතින බව එහි සේවකයෝ පවසති. තෙල් සංස්ථාව තුළ සේවක ප්‍රශ්න, තෙල් ප්‍රවාහනය සිදු කරන බවුසර් නොමැති වීම, රාජ්‍ය ආයතන වෙත ඉන්ධන ලබා දීම වෙනුවෙන් දැවැන්ත මුදලක් අයකර ගැනීමට තිබීම ඇතුළු බරපතල ගැටලු රාශියක් තිබියදී ඇමතිවරයා සංස්ථාව සතු මුදල් සුඛෝපභෝගී රථ මිලදී ගැනීමට යෙදවීම පිළිබඳ ඛණිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති බලවත් විරෝධය පළ කරයි.
ජනතාව බලය ලබා දුන්නේ ජනතා මුදල් නාස්ති කිරීම නැවතීමටත්, ජනතාවට සහන ලබා දීමටත් මිස ඇමතිවරුන්ට සුඛෝපභෝගී ජීවිත ගත කිරීමට නොවන බව ඔවුහු වැඩි දුරටත් පවසති.









