වෙලේ සුදාගේ නඩු තීන්දුව අද

හෙරොයින් ජාවාරම් කිරීම හා සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් ගම්පළ විතානගේ සමන්ත කුමාර හෙත් ‘වෙලේ සුදාට‘ එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ තීන්දුව අද (14) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ඉතා කෙටි කාලයකදී කඩිනමින් විභාගයට ගෙන අවසන් කෙරුණු මේ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම නඩුව විභාගයට ගත් කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා විසින් අද (14) දිනට දින නියම කරන ලදී.

2008/12/04 හෝ ඊට ආසන්න දිනයකදී ගල්කිස්සේ දී හෙරොයින් ග්‍රෑම් 7.05ක් ජාවාරම් කිරීම හා සන්තකයේ තබා ගැනීම සම්බන්ධව නීතිපතිවරයා විසින් වෙලේ සුදාට එරෙහිව අධි චෝදනා නඟා තිබුණි. එම චෝදනා ඔප්පු කිරීම සඳහා පැමිණිල්ල විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් රජයේ රස පරීක්ෂකවරයා ඇතුළු සාක්කිකරුවන් කැඳවා තිබුණි.

විත්තිය වෙනුවෙන් සමන්ත කුමාර හෙවත් ‘වෙලේ සුදා‘ සාක්කි කූඩුවේ සිට සාක්කි ලබාදුන් අතර එම සාක්කි රජයේ හරස් ප්‍රශ්නවලට භාජනය වුණි. ඉන් අනතුරුව දෙපාර්ශ්වය විසින් ලිඛිත දේශන හා ලිඛිත විරෝධතාවක් අධිකරණය හමුවේ ගොනු කිරීමෙන් අනතුරුව නඩු කටයුතු අවසන් කළ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අද (14) දිනට නියම කරන ලදී.

වෙලේ සුදා අත්අඩංගුවට ගැනීමෙන් පසු සිදු කළ ප්‍රශ්නකිරීම්වලදී මෙරට ප්‍රබල දේශපාලඥයින්, ප්‍රසිද්ධ නිලියන්, උසස් පොලිස් නිලධාරීන් සහ බන්ධනාගාර නිලධාරීන් ඇතුළු විවිධ පුද්ගලයන් සම්බන්ධ තොරතුරු අනාවරණය වූ බවට එවකට පොලිස් දෙපාර්තමේන්තුව වරින් වර මාධ්‍ය හමු පවත්වමින් අනාවරණය කර සිටි අතර මෙම නඩු තීන්දුවේදී ඊට අදාළ තොරතුරු ගැනද අධිකරණයේදී යම් ප්‍රකාශක් සිදු වනු ඇතැයි මාධ්‍ය වේදීන් බලා පොරොත්තු වෙන් සිටී.

Facebook
Twitter
LinkedIn