ආයුද නැව මුදා හරින්න ආරක්ෂක අමාත්‍යාංශට නියෝග දුන්නේ කවුද?

ඔක්තෝබර් 6 වැනිදා ගාලූ වරාය අසල මුහුදේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලද ඇවන්ගාඞ් ආයතනයට අයත් යැයි කියන ආයුධ සහිත නැව මුදාහරින ලෙස ආරක්ෂක අමාතය්‍යාංශයේ සිවිල් ආරක්ෂාව භාර ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ඩී.එම්.එස්. දිසානායක මහතා ලිපියක් මඟින් නාවික හමුදාපතිවරයාට දන්වා ඇති බව රාවය පුවත්පත වාර්තා කරයි.

මෙම නෞකාව 06 වැනිදා ලංකාවට අයත් මුහුදට ඇතුළුවෙමින් තිබියදී නාවික හමුදාවේ නිලධාරීන් එහි අනන්‍යතාව හඳුනාගැනීම සඳහා නෞකාව අමතා ඇති අතර, නෞකාවේ සිටි අය ඊට ප‍්‍රතිචාරයක් දක්වා නැත. තුන්වන වරටත් නැව ඇමතීමේදී නැවේ සිටි පුද්ගලයෙකු නාවික හමුදාවට පවසා ඇත්තේ නැවට අවශ්‍ය ජලය හා ඉන්ධන පහසුකම් (0ff chartering)  ලබාගැනීම සඳහා ගාලුවරායට ඇතුළුවීමට බලාපොරොත්තු වන බවයි. මේ පිළිතුරෙන් සෑහීමට පත්නොවූ නාවික හමුදාව ප‍්‍රහාරක යාත‍්‍රා තුනක් යවා නැව වටකොට නැවට ඇතුළු වී තිබේ. ඒ අතර, නැව තුළ ආයුධ ගබඩාකොට ඇත්දැයි බලවත් සැකයක් නාවික හමුදා නිලධාරින්ට ඇතිවී තිබේ.

නැව පරීක්ෂා කිරීමට නාවික හමුදාව අවසර ඉල්ලූ විට ඒ සඳහා අවසර දීමද නැවේ සිටි පුද්ගලයන් විසින් ප‍්‍රතික්ෂේප කරනු ලාබ ඇත. එහෙත් ඉන් නොනැවතුණු නාවික හමුදා නිලධාරීන් නැව පරීක්ෂා කරන විට ස්වයංකී‍්‍රය හා අර්ධ ස්වයංකී‍්‍රය ආයුද, ඒවාට අවශ්‍ය පතරොම් හා වෙනත් උපකරණ රාශියක් නැවේ ගබඩා කොට තිබෙනු දැකගන්නට ලැබී ඇත.

මීට දින 15කට පමණ පෙර මෙම නැව රතු මුහුදේ සිට ලංකාව බලා පැමිණි බවට තොරතුරු එහිදී හෙළිවී තිබෙන අතර එසේ පැමිණ තිබෙන්නේ ශි‍්‍ර ලංකා ධජය යටතේය. දැනගන්නට තිබෙන අන්දමට ශී‍්‍ර ලංකා ධජය යටතේ මුහුදු ගමනාගමනයෙහි යෙදෙන්නට නිසි අවසරයක් හෝ බලපත‍්‍රයක් නැවට තිබී නැත.

නැව පරීක්ෂා කිරීමේදී විශාල ආයුධ ප‍්‍රමාණයක් එහි ඇති බව නාවික හමුදා නිලධාරීන්ට දැකගන්නට ලැබී ඇත. ඒවා අතර 7.62mm, T56 ස්වංගී‍්‍රය ගිනි අවි 549ක් ද, 5.56mm 845 අර්ධ ස්වයංකී‍්‍රය ගිනි අවි 246ක්ද තිබී ඇති අතර, 7.62 x 35mm වර්ගයේ පතරොම් 1,73,060ක් ද තිබී ඇත. තවද 7.62x35mm වර්ගයේ Tracer Ammunition 30ක් ද, 5.56x45mm Tracer Ammunition 800ක් ද නැවේ තිබියදී සොයාගෙන ඇත.

ඊට අමතරව ගිනි අවි මැගසින් 2785ක්ද, පතොරම් බෑග් 51ක් ද, ආයුධ පෙට්ටි 51ක්ද, බොඩි ආමර්ස් 25ක්ද, හෙල්මට් 25ක් ද, ඇලර්ට් කී 300ක් ද, ආයුධ බෑග් 145ක්ද, ක්ලීනින් කිට්ස් 585ක්ද, pouch 725ක්ද, නැවේ තිබුණු භාණ්ඩ අතර විය.

මේ අතර, ඔක්තෝබර් 6 වැනිදා දාතම ඇතිව නාවික හමුදාපතිවරයා අමතමින් ලිපියක් යවන ආරක්ෂක අමාත්‍යාංශයේ සිවිල් ආරක්ෂාව භාර ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ඩී.එම්.එස්.දිසානායක මහතා කියා සිටින්නේ මෙම ආයුධ හා උපකරණ මුහුදු ප‍්‍රවාහනය සඳහා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් අවසර දී ඇති බවත්, ඒවා ඇවන්ගාර්ඞ් මැරිටයිම් සෙකියුරිටි කොම්පනීස් සමාගමට අයත් බවත්ය.

එසේම බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ 20-26 හි රක්නා ආරක්ෂක ලංකා සමාගම විසින් කරන ලද ඉල්ලීම පරිදි රතු මුහුදේ සිට ගාල්ල වරායට MV Avant Garde නෞකාව මගින් මෙම ආයුධ හා අදාළ උපකරණ ගෙන ඒමටත්, ඉන්පසු රක්නා ආරක්ෂක ලංකා ආයුධ ගබඩාවට යැවීමටත් අවසර දෙන බවද ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා නිවාක හමුදාපතිවරයාට දන්වා ඇත.

ආරක්ෂක අමාත්‍යාංශයේ මෙම ලිපිය නාවික හමුදාව තුළ විශාල ආන්දේලනයක් ඇති කරවීමට හේතු වී තිබෙන අර ලියුම ප‍්‍රකාරව ආයුධ නිදහස් කිරීමට නාවික හමුදා නිලධාරීන්ගේ විරෝධය පළ වී තිබේ. ඔවුන් සැක කරන්නේ ඇත්ත වශයෙන්ම  මෙම නැව සුඩානයේ සිට මෙහි පැමිණෙන්නට ඇති බවය. පසුගිය කැබිනට් රැස්වීමේදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ සිදුවීම ගැන ප‍්‍රකාශ කළ අවස්ථාවේදී කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් ඒ ගැන පුදුමය පළකර ඇති බවද රාවයට වාර්තා වේ.

උපුටාගැනීම රාවය

Facebook
Twitter
LinkedIn