නාවික හමුදා අත්අඩංගුවේ පසුවන අවිආයුධ 800කට වඩා රැගෙන පසුගියදා ගාල්ල වරායට පැමිණ තිබූ ශ්‍රී ලංකා ෂිපින් සමාගමේ ඒජන්තයන් වන මෝෂිෆ් සමාගමට අයත් ඇවන්ගාඩ් නෞකාව සම්බන්ධ පරීක්ෂණ කටයුතු කරගෙන යාම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට බාරකළ බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසයි.
ශ්‍රී ලංකා නාමය යටතේ ගාලු වරාය සමීපයට පැමිණ තිබූ මෙම නෞකාව ලංකාව දෙසට එනවිට ඉන්දියන් රජයේ අත්අඩංගුවට පත් වූයේ නම් විශාල ගැටලුවකට මෙරට රජයට මුහුණදීමට සිදුවන බවද ඇමතිවරයා සඳහන් කරයි.
පුද්ගලයන් තිදෙනෙකු බැස්සවීමට අවශ්‍ය බව පවසමින් ගාලු වරාය සමීපයට පැමිණි විට නෞකාව පිළිබඳව සැකයක් ඇතිවී නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමේදී ආයුධ තිබෙන බවට නිරීක්ෂණය වී ඇති බැවින් එය අත්අඩංගුවට ගෙන තිබේ.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “නැවක් වරායට එන්න කලියෙන් අපිව දැනුවත් කරන්න ඕන. තුන්දෙනෙක් බස්සන්න අවශ්‍ය බව කියා ආවට සැකයක් ඇතිවී පරීක්ෂා කිරීමේදී ආයුධ 800ක්ට වඩා තිබී තියෙනවා. කොළඹ අයිතිකරුවන්ට නැව බාරදෙන්නලු ආවෙ. නමුත් අයිතිකරුවන් හෝ ඒජන්සිකරුවන් මේ ගැන අපිව දැනුවත් කරලා නැහැ.
ආයුධ ගේනව නම් අපිට ඒ බව දන්වන්න ඕනා. හදිසියේවත් ඉන්දියාවෙන් ඇල්ලුව නම් අපිට ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ. මොකද ශ්‍රී ලංකා නාමය යටතේ නැව ඇවිත් තියෙන්නෙ. ඇවන්ගාඩ් නැවක් වන මෙහි අයිතිකරුවන් වන්නෙ ශ්‍රී ලංකා ෂිපින් සමාගමේ ඒජන්තයන් වන මෝෂිෆ් කියන අයයි. අවදානමක් එන නිසා වරාය ඇතුළට එන්න අපි ඉඩදුන්නෙ නැහැ. නාවික හමුදාවට අවශ්‍ය නම් වරාය ඇතුළට අරගෙන පරීක්ෂණ කරන්න අපි අවසර දුන්නා.” යැයි පැවසීය.
නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා පවසන්නේ මෙම නෞකාව නාවික හමුදා භාරයේ රඳවාගෙන පරීක්ෂණ පවත්වාගෙන යන බවය.









