හවුල් ආණ්ඩුවේ ආර්ථිකය අයාලේ යයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් මෙම රජය ගන්නා තීරණ අයාලේ යන තත්වයකට පත්ව ඇති බව අනාවරණය වේ. විශේෂයෙන්ම දින සියයේ විප්ලවය යනුවෙන් හැදින්වූ අයවැය ඉලක්ක කිසිවක් සම්පූර්ණ කර ගැනීමට ආණ්ඩුව අසමත් වී ඇති බවත් එමෙන්ම කාලීන අවශ්‍යතාවයන් මත ගනු ලබන තීරණ පවා සැනෙකින් වෙනස් කර ගන්නා තත්වයකට පත්ව ඇති බවත් තහවුරු වේ.

මේ සම්බන්ධයෙන් අලුත්ම නිදර්ශනය වන්නේ වාහන මිල දී ගැනීමේදී ලීසිං පහසුකම් සැපයීම සම්බන්ධයෙන් ආණ්ඩුව ගනු ලැබූ ප්‍රතිපත්ති තීරණයයි. 100%ක් ලීසිං පහසුකම් ලබා ගැනීමට තිබූ හැකියාව මෙයට සති කිහිපයකට පෙර 70% දක්වා මුදල් අමාත්‍යංශය විසින් අඩු කළේය. ඒ අනුව වාහනයක් මිලදී ගන්නා පුද්ගලයකු එම වාහනයේ වටිනාකමෙන් 30%ක මුදලක් මුලින්ම ගෙවිය යුතු වූ අතර ලීසිං පහසුකම් සැපයීම එම වටිනාකමෙන් 70%කට සීමා කෙරිණ.

නමුත් මෙම තීරණය හදිසියේ නැවත වෙනස් කර වාහනයේ වටිනාකමෙන් 90% දක්වා ලීසිං පහසුකම් ලබා දෙන බවට මුදල් ඇමතිවරයා ඊයේ (02) නිවේදනය කළේය. එමෙන්ම වාහන ආනයනයේදී නිකුත් කරන නයවර ලිපි (LC) සඳහා 100%ක තැන්පතුවක් අවශ්‍ය බවද තීරණය කර තිබිණ.

විවෘත ආර්ථිකය හඳුන්වාදීමට බෙහෙවින් බලපෑම් සිදු කර ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දුන් නියෝග මේ ආණ්ඩුව වෙත දැඩි කරමින් සිටින බව පැහැදිලි වේ. රුපියලේ අගය විශාල වශයෙන් අවප්‍රමාණය වීමට ඉඩ හැරීම එහි ප්‍රතිඵලයක් බව හෙළිවේ. මේ තත්වයන් තුළ රටේ ආර්ථිකය දැඩි අවධානම් තත්වයක් කරා ගමන් කරමින් තිබෙන බව පැහැදිලිය.

Facebook
Twitter
LinkedIn