ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා කොමෙයිනි හජ් වන්දනාකරුවන්ගේ මරණ පිළිබඳව ප්‍රකාශයක් කරමින් පවසා ඇත්තේ මෙම මරණ පිළිබඳව සවුදි අරාබියාව තම කනගාටුව ප්‍රකාශ කළ යුතු බවය. මෙහිදී මියගිය 770ක් වන හජ් වන්දනාකරුවන්ගෙන් 144ක් ඉරාන ජාතිකයන් බව පැවසේ.
වගකීම වෙන අය වෙත පවරමින් සහ බැන වැදීම් කරමින් නොසිට සවුදි අරාබිය, මෙම මරණවල වගකීම භාරගනිමින් ලෝක මුස්ලිම් ප්‍රජාවගෙන් සහ වියෝගයට පත්වූ පවුල්වලින් සමාව ගත යුතු යැයි ද ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, සවුදි විදේශ ඇමති අඩෙල් අල් ජුබියර් තම රටට එල්ල වුණ විවේචනයන්ට එරෙහිව “කිසිවෙකු මෙම ඛේදවාචකයෙන් දේශපාලන වාසි ගැනීම වෙනුවෙන් යොදා නොගත යුතුයි” යනාදී ලෙස කළ ප්‍රකාශයත් සමගමය.
ඉරාන නායකයන් බොහෝමයක් ඉතා තදින් ප්‍රශ්න කරමින් කියා ඇත්තේ සවුදි ආරාබියාව මෙවැනි වාර්ෂික වන්දනා මෙහෙයක් පැවැත්වීමට තරම් සුදුසු තත්වයක නොපවතින බවය.
ඉරාන සංස්කෘතික ඇමති අලි ජනායි ප්රමුඛ දූත මණ්ඩලයත් මෙම ඛේදවාචකයට අදාළ ඉරාන පුරවැසියන් පිළිබඳව මැදිහත්වීම සඳහා සවුදියට යාමට සුදානම්ව සිටියත් තමන්ට තවමත් වීසා ලබාදී නොමැති බව පවසා ඇත.
ඉරාන ජනාධිපති හසන් රොහානි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේකම් බෑන් කී මූන් සමග ඇමෙරිකා එක්සත් ජනපදයේදී පැවති සාකච්ඡාවකදී ආයාචනා කර ඇත්තේ මෙම තත්වය පිලිබඳව මැදිහත්වීමක් සිදුකරන ලෙසය. කනගාටුවට කරුණ වී ඇත්තේ දැනට අතුරුදහන් වී ඇති වන්දනාකරුවන් සහ මියැදුනු අයගේ මෘතදේහයන් ඉරානයට ගෙන්වා ගැනීමට අදාළ කටයුතුවලදී සවුදි අරාබිය ප්‍රමාණවත් සහයෝගයක් පළ නොකර බව යැයි ඔහු වැඩිදුරටත් කියා ඇත.









