ඉන්දියානු රජයේ ආරාධනයකට අනුව නිල සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු දූත පිරිස අහ්මදාබාද්හි පිහිටි ගුජරාට් ප්‍රාන්ත ආණ්ඩුවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අනුබද්ධ i-Hub සමාගමේ සංචාරයක නිරත වී තිබේ.
එම ආයතනය ස්ථාපිත කරනු ලැබ ඇත්තේ ශිෂ්‍යයන්ට හා ආධුනික ව්‍යවසායකයින්ට උපදේශන සේවා, විද්‍යාගාර ඇතුළු යටිතල පහසුකම් සපයන සහ ආයෝජකයන් මගින් අරමුදල් සම්පාදනය කර දීමට මැදිහත් වන නවෝත්පාදන කේන්ද්‍රස්ථානයක් (Innovation Hub) ලෙසය.
එම i-Hub ආයතනය සිසුන්, බුද්ධිමතුන්, කර්මාන්ත සහ වෙළඳපොළ එකිනෙක සම්බන්ධ කරමින් රාජ්‍ය නියාමනයක් සහිත පහසුකම් සැපයීමේ පද්ධතියක් සංවර්ධනය කිරීමට උපාය මාර්ගික මැදිහත් වීම් සිදු කරනු ලබයි. උපදේශනය, ජාල කරණය, පාරිභෝගික සම්බන්ධතා, ආයෝජන අවස්ථා, ආධාරක යාන්ත්‍රණයන් සහ විද්‍යාගාර යටිතල පහසුකම් සම්පාදනයට අදාළ කඩිනම් නම්‍යශීලී සහ සහයෝගිතා සේවා ඒකාබද්ධතාවක් වන i-Hub, තම සේවාදායකයින්ට අවශ්‍ය සියලු සේවා එක් වහලක් යටදී සම්පූර්ණ කර දීමට කටයුතු කරයි.
අනතුරුව අහ්මදාබාද්හි කෘෂිකාර්මික ප්‍රදේශ සහ කෘෂි නිෂ්පාදන නිරෝධාන කර්මාන්ත ශාලාවක් (GAIC – Gujarat Agro Industries Corporation) නිරීක්ෂණයකටද මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් (TATA Motors) නිරීක්ෂණයකටද සූර්ය බලශක්ති ව්‍යාපෘති නිරීක්ෂණයකටද සහභාගි වී ඇති ජාතික ජන බලවේගයේ නියෝජිත පිරිස අද (08) රාත්‍රියේ කේරල ප්‍රාන්තයේ අගනුවර වන තිරුවානන්දපුරම් (පෙර හඳුන්වන ලද නාමය Trivandrum) බලා යාමට නියමිතය.
ඊයේ (07) දිනයේ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇතුළු දූත පිරිස ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ආනන්ද් හි පිහිටි අමුල් කිරි නිෂ්පාදන ආයතනයේ නිෂ්පාදන ක්‍රියාවලිය ආවරණය කරමින් ක්ෂේත්‍ර චාරිකාවක නිරත වී තිබේ. අනතුරුව ප්‍රධාන විධායක නිලධාරි ඇතුළු කළමනාකාරිත්වය, ජාතික කිරි සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු කිරි නිෂ්පාදන ක්ෂේත්රයේ විශේෂඥ පිරිසක් සමඟ කිරි නිෂ්පාදනයේ නව තත්වයන් පිළිබඳව අදහස් හුවමාරු කර ගෙන ඇත.
ආයතනයේ හිමිකාරිත්වය හා කළමනාකරණය සමුපකාර ව්‍යූහයක් යටතේ ක්‍රියාත්මක වේ. කිරි නිෂ්පාදනය වැඩි කිරීම, කිරි නිෂ්පාදනවල මිල අවම කර ගැනීම, නිෂ්පාදන කාර්යක්ෂමතාව වැඩි කර ගැනීම, තාක්ෂණයේ ප්රශස්ත භාවිතය වැනි කරුණු දීර්ඝව සාකච්ඡා කර තිබේ.
එසේම ඔවුන් විසින් ලංකාවේ සිදු කිරීමට යන ආයෝජනය පිළිබඳවද, දැනට මතුවී ඇති ගැටලු හා අනාගතයේදී උද්ගත විය හැකි විවිධ ගැටලුකාරී තත්වයන් පිළිබඳවද මෙහිදී ජාතික ජන බලවේගයේ නායකයින් විසින් කළමනාකාරිත්වය ප්‍රශ්න කර තිබේ.
මේ අතර ගුජරාටයේ සංවර්ධන ආකෘතිය පිළිබඳ ඉදිරිපත් කිරීමේ අවස්ථාව සඳහා ගුජරාට් ආණ්ඩුවේ බලශක්ති හා ඛනිජ නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ලේකම් Mamta Verma, කර්මාන්ත හා කැණීම් දෙපාර්තමේන්තුවේ අතිරේක ප්‍රධාන ලේකම් S.J Haider, ගාන්ධි නගරයේ the Leela හෝටලයේ සාමාන්‍යාධිකාරී Vikas Sood ඇතුළු පිරිසක් සහභාගි වී ඇත. යටිතල පහසුකම්, ව්‍යාපාර කිරීමේ පහසුව, බලශක්ති ක්ෂේත්රය, විදේශ වෙළදාම, තොරතුරු තාක්ෂණය යන ක්ෂේත්‍ර පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට බඳුන් වී තිබේ.














