වයඹටම සහල් දෙන සමුපකාර වී මෝලක් ගැන ඔබ මීට පෙර අසා තිබෙනවා ද ?

වයඹටම සහල් දෙන සමුපකාර වී මෝලක් ගැන ඔබ මීට පෙර අසා තිබෙනවා ද ?

වයඹ පළාතටම සහල් සැපයීමට හැකි වී මෝලක් හිමි කොබෙයිගනේ (කුරුණෑගල) සමුපකාර සමිතියේ නිරීක්ෂණ චාරිකාවකට පැමිණෙන ලෙස වෛද්‍ය එම්.පී වික්‍රමසිංහ මහතා මා හට ආරාධනා කළේය. සමුපකාරය සම්බන්ධව මා විසින් කරන පර්යේෂණයේ කොටසක් හැටියට මෙම සංචාරය සංවිධානය විය. වෛද්‍ය වික්‍රමසිංහ මහතා 2023 ජනවාරි 30 වන දින පැවති සමුපකාර නිලවරණයෙන් ජාතික ජන බලවේගය (NPP) නියෝජනය කරමින් තේරීපත්වූ කොබෙයිගනේ සමුපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිවරයා. එහි උප සභාපති හැටියට කටයුතු කරන්නේ ආනන්ද පණ්ඩිත මහතායි. එම අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් සියල්ල වෘත්තිකයන් වීම විශේෂත්වයකි.

මාගේ සහාය පර්යේෂණ කණ්ඩායමත් සමග නිරීක්ෂණ චාරිකාව සඳහා මුලින්ම කොබෙයිගනේ සමුපකාර මූලස්ථානය වෙත ගිය අතර එහිදී අපට ඉතා විධිමත් ඉදිරිපත් කිරීමක් (Presentation) සිදු කරමින් සභාපතිවරයා විසින් නව අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉදිරි ව්‍යාපාර සැලැස්ම (Business Plan) පිළිබඳ දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය.

කොබෙයිගනේ සමුපකාරය හඳුනාගෙන තිබූ එක් ව්‍යාපාරික අවස්ථාවක් වූයේ රුපියල් දෙකෝටි තිස් ලක්ෂයක් (රු. 23,000,000) වියදම් කොට 2012 මහින්ද රාජපක්ෂ රජයේ වෙළෙඳ ඇමතිව සිටි ජොන්සන්ටන් ප්‍රනාන්දුගේ මැදිහත් වීමෙන් බලයේ සිටි පොහොට්ටු පක්ෂයේ සමුපකාර අධ්‍යක්ෂ මණ්ඩලය ආරම්භ කොට, අතර මග අතහැර දමා ඇති මහා පරිමාණ සහල් සැකසුම් මධ්‍යස්ථානය සංවර්ධනය කොට ක්‍රියාත්මක කිරීමයි.

නව අධ්‍යක්ෂ මණ්ඩලයේ බලාපොරොත්තුව සමුපකාරය සඳහාම සකස් වූ වෙළෙඳ සන්නාමයක් (Brand) යටතේ ආරම්භයක් හැටියට කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමුපකාර සමිති සඳහා ඇසුරුම් කළ සහ නොකළ (Packeted & Bulk) සහල් සැපයීමටත් මැදි කාලීන සැලැස්මට අනුව වයඹ පළාතේම සමුපකාර සඳහා සැකසූ සහල් සැපැයීම සහ දිගුකාලීන වැඩපිළිවෙළ අනුව අවට පළාත්වලට සහල් තොග සැපයිය හැකි මට්ටමට එය වසර දෙකක් තුළ සංවර්ධනය කිරීමටයි. මේ හරහා ආරම්භයේ නව රැකියා 40-60 අතර ප්‍රමාණයක් නිර්මාණය කිරීමට ඔවුන් බලාපොරොත්තු වන අතර දිස්ත්‍රික්කයේ ගොවියන්ගේ වී සාධාරණ මිලකට මිල දී ගෙන ගබඩා කිරීමට අවශ්‍ය කටයුතු මේ වනවිටත් සැලසුම් කරමින් සිටී.

පෙර සිටි අධ්‍යක්ෂ මණ්ඩලය මෙම වී මෝල ඉදිකිරීම සඳහා මුලින්ම රුපියල් ලක්ෂ 30ක්ද, 2020දි රුපියල් කෝටියක් සහ 2022දී තවත් රුපියල් කෝටියක් ඇතුළුව රුපියල් දෙකෝටි තිස් ලක්ෂයක් (රු. 23,000,000) සමුපකාර දෙපාර්තමේන්තුවෙන් ණයක් හැටියට ලබා ගෙන ඇත. එහෙත්, භාගයට ඉදි කොට ඇති ගොඩනැගිලි කිහිපයක් හැරෙන්නට ඔවුන් 2023 බලයෙන් පහ වෙන තුරු ඇඹරූ වී ඇටයක් හෝ වෙළෙඳපොළට සැපයූ හාල් ඇටයක් නැත. මෝල සඳහා ගෙනා යන්ත්‍ර සූත්‍ර අදටත් වරායෙන් ගෙනා අයුරින්ම පෙට්ටිවල බහා ඇත. සමහර යන්ත්‍ර මලකඩ කා තිබෙන අයුරු අපට දැක ගන්නට ලැබිණි. මේ වනවිටත් හිටපු සාමාන්‍යාධිකාරීවරයා දූෂණ චෝදනාවකට රහස් පොලිසියෙන් අත් අඩංගුවට ගෙන උසාවියෙන් රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත.

මේ දිනවල වෙළෙඳපොළේ සහල් හිඟයක් නිර්මාණය වී ඇත. රජය පාලන මිලක් නියම කළද පොලොන්නරුවේ මහාපරිමාන මෝල් කරුවන් හතර දෙනා නැවත වරක් ආණ්ඩුවේ ගැසට්ටුව පයිසයකට වත් ගණන් නොගෙන වෙළෙඳපොළට සැපයෙන සහල් තොග සීමා කොට මිල ඉහළ දැමීමට අවශ්‍ය වටපිටාව සකස් කරමින් සිටී. රජය මේ වනවිටත් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට වෙළෙඳ අමාත්‍යාංශයට අනුමැතිය ලබා දී ඇත. එහෙත් කිලෝග්‍රෑමයක් රුපියල් 80ට 90ට මිල දී ගත් පසුගිය කන්න දෙකක වී තොග මෝල් හිමියන් සහ තොග රැස්කරන්නන් සන්තකයේ මේ වනවිටත් ගබඩාවල ඇත. ප්‍රශ්නය තිබෙන්නේ රජයට මෙම මොල් හිමියන්ගේ තර්ජනයට මුහුණ දීමට තරම් ශක්තියක් නැති කමය.

කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර පසුගිය දා හම්බන්තොට ප්‍රදේශයේ පැවති රැස්වීමකදී ගොවියන් ඉදිරියේ ප්‍රකාශ කලේ කෘෂිකර්ම අමාත්‍යාංශයට රුපියල් බිලියන 20ක් තිබෙන්නේ නම් ලංකාවේ මහාපරිමාණ මෝල් හිමියන් දන ගැස්විය හැකි බවය. එහෙත්, සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ අටක් (800,000) ආනයනය කිරීම සඳහා 2022 දී ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක් වැය කොට ඇත. ඩොලරය රුපියල් 330ක් වුවහොත් සහල් තොගයේ රුපියල් වටිනාකම බිලියන 264ක් පමණ වනු ඇත. 2023 වසර සඳහා සහල් මෙට්‍රික් ටොන් 100,000 ආනයනය කිරීමට පසුගිය දා කැබිනට් අනුමැතිය ලැබුණු බව වෙළෙඳ ඇමති මාධ්‍යයට ප්‍රකාශ කරනවා දුටිමි. එසේ නම් ප්‍රශ්නය තිබෙන්නේ කොතැනද කියා ඔබට අවබෝධ කර ගත හැක. සහල් ආනයන වියදම දැනගැනීමට; https://www.themorning.lk/articles/80zcUPcxQwUyyOXRgjrU

ලංකාවේ වෙළෙඳ අමාත්‍යාංශය පසුගිය වසරේ මියන්මාර රජය සමග සහල් මිල දී ගැනීම සඳහා ගිවිසුම් අත්සන් කොට ඇත. මියන්මාර රජය වෙනත් රටවලට සහල් මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 340ත් 350ත් අතර මිලදී ගන්නා විට ලංකාවේ බලධාරීන් ඩොලර් 440ත් 450ත් අතර මිලකට ගැනීමට කැමැත්ත පල කළ බව මියන්මාර රජය ප්‍රකාශ කරයි. ඔවුන් කියන අන්දමට ලංකාවේ රජයට සහල් අලෙවිය ඉතා ලාභදායී වගේම පහසු බවත් ලංකාවේ බලධාරීන් වෙනත් රටවල මෙන් සහල්වල ගුණාත්මක භාවය පිළිබඳ විමසීම් නොකරන බවත් ඔවුන් ප්‍රකාශ කර ඇත. මෙය ලංකාවේ අපට නම් පුදුමයක් නැත. ලංකාවේ සියලු කටයුතු සිදු වන්නේ අතයට ගනුදෙනුවක් සහිත වය. මෙවැනි දූෂිත ගනුදෙනුවලට තවත් ඉඩ දිය යුතු ද? මෙම ගනුදෙනුව පිළිබඳ වැඩි විස්තර සඳහා;
https://indepthnews.net/rice-exports-to-sri-lanka-good-business-for-myanmar/

මහා පරිමාණ මෝල් හිමියන් හතර දෙනා සහල් වෙළෙඳපොළ පංගුවෙන් 30%ත් 35%ත් අතර ප්‍රමාණයක් පාලනය කරති. ඉතිරි 70% තිබෙන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සතුවයි. රජය කළ යුතුව තිබෙන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් ශක්තිමත් කොට වෙළෙඳපොළ කතිපයාධිකාරය (oligopoly) බිඳීමයි. එහෙත් මෙම පාලකයන්ට අවශ්‍ය කතිපයාධිකාරයන් තව තවත් ශක්තිමත් කොට පෝෂණය කිරීම යි. කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් 1000කට ආසන්නව රටේ ක්‍රියාත්මකව තිබිණි. ඉන් මේ වනවිට 750කට වඩා වසා දමා හෝ පරණ යකඩවලට විකුණා දමා ඇත. මේ දිනවල ණය නොගෙවීම හේතුවෙන් බැංකු විසින් පරාටේ නීතිය අනුව බොහෝ වී මෝල් අත්පත් කර ගනිමින් සිටී. නව ලිබරල්වාදී ආර්ථික ක්‍රමයක අවසන් ප්‍රතිඵලය එයයි. වී මෝල් අර්බුදය පිළිබඳ වැඩි විස්තර සඳහා;
https://www.themorning.lk/articles/220155

කොබෙයිගනේ සමුපකාර අධ්‍යක්ෂ මණ්ඩල සභාපතිවරයා ඉදිරිපත් කළ ව්‍යාපාරික සැලැස්මට අනුව තවත් එක් ව්‍යාපෘතියක් වන්නේ ප්‍රදේශයේ කෘෂිකර්මයේ නියුතු ගොවියන් සඳහා අවශ්‍ය පොහොර, කෘෂි ආම්පන්න, කෘමිනාශක සහ අනෙකුත් රසායනික ද්‍රව්‍ය අලෙවි සැලක් (One Stop Shop) ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවකි. කෘෂි නිෂ්පාදන මිල දී ගැනීම සඳහා යන්ත්‍රණයක් සකස් කිරීම, ප්‍රදේශයේ කුකුළු ගොවි සමිති සමග ඒකාබද්ධ යන්ත්‍රණයක් හරහා අවශ්‍ය කුකුළු ආහාර (Chicken Feed) සහ අනෙකුත් ඖෂධ යනාදිය සැපයීම, සමූපකාර ජාලය හරහා ගොවියන්ගේ බිත්තර හා මස් නිෂ්පාදන මිල දී ගැණීම සහ අලෙවිය යනාදි වැඩසටහන්ද ඇතුළත් විය.

නව අධ්‍යක්ෂ මණ්ඩලය භාර ගන්නා විට රුපියල් මිලියන 3.9ක මූල්‍ය පාඩුවක් තිබූ සමිතිය පසුගිය සැප්තැම්බර් මාසයේ මිලියන 2.2ක ලාභයක් උපයා ඇත. ඔවුන් බලය ලබා ගන්නා විට අක්‍රීය මට්ටමින් වසා තිබුණු සියලු වෙළෙඳසැල් නැවත ආරම්භ කොට ඇත. සමුපකාර ශාඛා 17ක් සහ ඉන්ධන අලෙවි සැලක් මේ වනවිට ක්‍රියාත්මක වෙයි. ඊට අමතරව සාමාජික සුබසාධනය සඳහා අවමංගල්‍ය සේවයක්ද ඔවුන් ක්‍රියාත්මක කරයි. නව සමුපකාර වෙළඳසැල් කිහිපයක් 2024 වසර තුළ විවෘත කිරීමටද සැලසුම් කොට තිබෙන බව ව්‍යාපාරික සැලැස්මේ දක්වා තිබුණි. මීට අමතරව, සමුපකාර පද්ධතිය පරිගණක ගත කිරීමටද අවශ්‍ය මූලික සාකච්ඡා ආරම්භ කොට තිබෙන බව සභාපතිවරයා මා සමග පැවසීම සතුටට හේතු විය. තාක්ෂණය හරහා දූෂණය, වංචාව අවම කිරීමට අමතරව මෙහෙයුම් කටයුතු කාර්යක්ෂම කිරීමටද හැකිය.

සමුපකාරය, ක්‍රමයෙන් අදූෂිත ආයතනයක් බවට පත් වෙමින් තිබෙන බව මේ වනවිට පෙනෙන්නට තිබීම සතුට දනවන්නෙකි. එයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ අදූෂිත මෙන්ම සමාජයේ පිළිගැනීමක් ඇති වෘත්තිකයන් පිරිසක් අතට සමුපකාරයේ බලය මාරුවීමයි. රටක් වුවත් දියුණු වීමට නම් අවංක, අදූෂිත, දේශපාලන පක්ෂයකට බලය ලබා දිය යුතුයි. ලංකාවේ බහුතර ජනයා බලාපොරොත්තු වන්නේ එවැනි පාලනයක් නම් ඉදිරියේ පැවැත්වෙන මැතිවරණයකදී ඔවුන්ට නිවැරදිව තෝරා ගැනීමක් කළ හැකිය. ඒ සඳහා අවැසි ඥානය පහළ වනු ඇත යන්න මාගේ විශ්වාසයයි.

ශාන්ත ජයරත්න
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක
28.11.2023
shantha323@gmail.com

Facebook
Twitter
LinkedIn