ජනවාරි වනවිට මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ කණගාටුදායක තත්වයක් – කම්හල්වලින් 20%ක් විශේෂ තීරණයක

ජනවාරි වනවිට මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ කණගාටුදායක තත්වයක් – කම්හල්වලින් 20%ක් විශේෂ තීරණයක

ශ්‍රී ලංකාවේ මහා පරිමාණ ඇඟලුම් කම්හල්වලින් 20%ක් පමණ දෙසැම්බර් නිවාඩුවෙන් පසු මාස​තුනක කාලයක් වසා දැමීමට තීරණය කර ඇති බව නිදහස් වෙළඳ කලාප නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ධම්මික ප්‍රනාන්දු පවසයි.

කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ශාලා 50%ක් පමණ දැනටමත් වසා දමා ඇති බවද ඔහු වැඩිදුරටත් පවසයි. වියදම් වැඩිවීම සහ ඇනවුම් පහත වැටීම හේතුවෙන් ඇඟලුම් කර්මාන්තයේ ආයෝජකයින්ගේ ආදායම 25%කින් පහත වැටී ඇති බවත් මෙම පසුබිම තුළ බොහෝ දේශීය ආයෝජකයින් වෙනත් රටවල ආයෝජනය කිරීමේ හැකියාව සොයා බලමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

සමහර ආයෝජකයින් කම්කරුවන්ට වන්දි ගෙවීමට සහ සේවයෙන් පහ කිරීමට කටයුතු කර ඇති බවත් මහා පරිමාණ සමාගම්වලින් 10%ක් පමණ එසේ කර ඇති බවත් මේ අතර වාර්තා වේ. ඇතැම් සමාගම් හිමිකරුවන් තම සේවකයන්ට අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන් වැටුප් ගෙවන අතරතුර නිවසේ රැඳී සිටින ලෙස ඉල්ලා ඇති බවද වාර්තා වේ.

සමහර කර්මාන්තශාලා විවෘතව පවතින්නේ සතියකට දින 04ක් පමණක් යැයිද නිදහස් වෙළඳ කලාප නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ධම්මික ප්‍රනාන්දු පවසයි. ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනකරුවන්ට පිරිවැය අනුව වෙනත් රටවල් සමඟ තරඟ කිරීමට නොහැකි බවද ඔහු තවදුරටත් සඳහන් කරයි.

ඉහත සඳහන් දුක්ඛිත තත්වයන්ට අමතරව ඔවුන්ගේ නිෂ්පාදන සඳහා සුදුසු මිලක් ලබා ගැනීමට නොහැකි වීමද ආදායම් මට්ටමට බලපා ඇති බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පෙන්වා දෙති.

Facebook
Twitter
LinkedIn