හමාස් සංවිධානය විසින් ඔක්තෝබර් 07 වෙනි දින ඊශ්රායලයට එල්ල කළ ප්රහාරයට පලි ගැනීමක වශයෙන් අද (22) දක්වා අඛණ්ඩව බෝම්බ ටොන් 40,000කට ආසන්න ප්රමාණයක් හෙළා රෝහල් විශාල සංඛ්යාවක් පවා සමතලා කර වෛද්යවරු ඇතුළු කාර්යමණ්ඩලයද ඝාතනය කිරීමෙන් පසුව සටන් විරාමයකට එළඹීම නිවේදනය කර තිබේ.
මෙම කාලය තුළදී ඉන්දුනීසියානු රෝහල සහ අල් ෂිෆා රෝහල සමතලා කර ගාසාතීරයේ තවත් රෝහල් 22ක් මුළුමනින්ම අක්රීය කර වෛද්යවරු ඇතුළු සෞඛ්ය කාර්යමණ්ඩලවල 350කට ආසන්න පිරිසක්ද ඊශ්රායල් ප්රහාරවලින් මියගොස් ඇති බව ජාත්යන්තර මාධ්ය වාර්තා කර තිබේ. එම ප්රහාරවලින් අවම වශයෙන් ගාසා වැසියන් 13,400ක් මියගොස් ඇත.
මේ අතර ඊශ්රායලය තුළ එරට අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ජනප්රියත්වය ඉතිහාසයේ අවම මට්ටමට වැටී ඇති බවත් ඊට සමාන්තරවම ඇමරිකානු ජනාධිපතිගේ ජෝ බයිඩන්ගේ ජනප්රියත්වය 42% දක්වා පහත වැටී, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ ජනප්රියත්වය 56% ඉක්මවා ඇති බවත් අලුත්ම ජනමත සමීක්ෂණවලින් හෙළි වී තිබේ. කටාර් රාජ්යය මූලික වීමෙන් සටන් විරාමයක් ප්රකාශයට පත් කිරීම සිදුවන්නේ ඉතිහාසයේ බිහිසුනුම යුධ අපරාධ සිදු කර දේශපාලනිකව එයට නායකත්වය දුන් පුද්ගලයින්ද ජනතාව ප්රතික්ෂේපකර තිබෙන පසුබිමකය.
දින 04ක සටන් විරාමයක් හෙට (23) සිට ප්රකාෂයට පත් කිරීමේ සූදානමක් තිබෙන අතර හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින ඊශ්රායල් සහ ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයක විදේශිකයන් 50 දෙනෙකු නිදහස් කිරීමට නියමිතය. එමෙන්ම ඊශ්රායල් අත්අඩංගුවේ සිටින පලස්තීන වැසියන් 150ක් නිදහස් කිරීමට සිදුවී ඇති බවද ජාත්යන්තර මාධ්ය වාර්තා කරයි.










