ආණ්ඩුවේ නිහීන ක්‍රියාමාර්ගවලට ජාතික ජන බලවේගය බිය වෙන්නේ නැහැ – නීතිඥ සුනිල් වටගල

ආණ්ඩුවේ නිහීන ක්‍රියාමාර්ගවලට ජාතික ජන බලවේගය බිය වෙන්නේ නැහැ – නීතිඥ සුනිල් වටගල

“ගෙන යන මේ ගමන ලබන අවුරුද්දේ අගෝස්තුවලින් කෙළවර වෙනවා. එයට බයවුණු මේ නිහීන ආණ්ඩුව තමන්ගේ පොලිසිය පාවිච්චි කර, නැගී එන විරෝධය මර්දනය කරන්න බලනවා. විශ්‍රාමික සාමූහකයේ පවුල්වල අයට බලපෑම් කිරීමේ අදහසින් විවිධ බාධා සිදුකරනවා. ආණ්ඩුවේ මේ නිහීන ක්‍රියාමාර්ගවලට ජාතික ජන බලවේගය බය වෙන්නේ නැති බව අපි අවධාරණය කරනවා. මේ සාමූහිකයට සිදුකරන සියලු කෙනෙහිලිකම් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානය පෙනී සිටිනවා. ලංකාවේ කුමන ප්‍රදේශයක සිට මේ සාමූහිකයට කෙනෙහිලිකම් කළත් අපි ඒ ඕනෑම ස්ථානයක සිට පෙනී සිටිනවා. ඒ සාමාජිකයින්ගේ අයිතිවාසිකම් ආණ්ඩුවේ බියගුළු, නිහීන තුච්ඡ, වැඩවලින් මර්දනය කළ නොහැකි බවත් ආණ්ඩුවේ මේ ක්‍රියාමාර්ග වහාම නතර කරන ලෙසත් අවධාරණය කරනවා.” යැයි ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ නීතිඥ සුනිල් වටගල අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කලේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (22) පෙරවරුවේ පැවති ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානය සහ අදිටන විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ඒකාබද්ධ මාධ්‍ය හමුව අමතමිණි.

විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ප්‍රධාන සම්බන්ධීකාරක විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර, ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ නීතිඥ හර්ෂණ නානායක්කාර, රියර්අද්මිරාල් ෆ්‍රෙඩ් සෙනෙවිරත්න සහ එයාර් වෛශ්මාරෂල් සම්පත් තුයියකොන්තා යන අය මෙම මාධ්‍ය හමුව සඳහා සහභාගී වී සිටි අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ සුනිල් වටගල,

“ජාතික ජන බලවේගය පසුගිය කාලය පුරාම සැලකිය යුතු ජනතා ජයග්‍රහණයක් ලබමින් ඉදිරියට එමින් සිටිනවා. මේ ජරාජීර්ණ දේශපාලනයෙන් මිදී මේ දුර්දාන්ත පාලනය ක්‍රමය වෙනස් කිරීමේ විරෝධතා රැලියක් පසුගිය 18දා විරෝධතා පාගමනකින් පසුව පැවැත්වූවා. ජන වරමක් නැති රනිල් රාජපක්ෂ ආණ්ඩුව ජාතික ජන බලවේගයේ ගමන අඩපණ කරන්න අදේශපාලනික ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. සමහර වෙලාවට ඒවා හරිම තුච්ඡ ක්‍රියාමාර්ග. ජාතික ජන බලවේගය කියන දේශපාලන ව්‍යාපාරය පෝෂණය කරන්න එක්වී සිටින අනෙකුත් සංවිධාන අතරින් විශාල කාර්යභාරයක් “ජාතික ජන බලවේගයේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය” ඉටුකරමින් සිටිනවා. ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානය කියන්නේ රට පුරාම ව්‍යාප්ත වුණු ව්‍යාපාරයක්. අපි ඒකාබද්ධ මාධ්‍ය හමුවක් මේ අවස්ථාවේ පවත්වන්නේ ජාතික ජන බලවේගයේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයට එරෙහිව ආණ්ඩුව ගෙන යන නිහීන ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි කරන්න.

ආණ්ඩුව තම තමන්ට පක්ෂපාතී කොටස් උපයෝගී කර ගනිමින් යම් යම් බලපෑම් සිදුකරමින් සිටිනවා. මෙවැනි බලපෑම් කරන මහත්වරුන්ට අපි එක දෙයක් කියන්න කැමතියි. ජාතික ජන බලවේගයේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයට එල්ල කරන බලපෑම් පිළිබඳ ගැටලුව අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙන ගියා. නමුත් අපේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකත්වයට කඳවුරුවලට ඇතුල්වීම, වාර්ෂික සුහද හමුවලට සහභාගී වීම වැළැක්වීම, වෛද්‍ය පහසුකම් ලබාගැනීමට බාධා කිරීම වැනි ක්‍රියාමාර්ග වාචිකව ගනිමින් සිටිනවා. මාධ්‍ය හමුවට සහභාගී වන සම්පත් තුයියකොන්තා මහත්මාට ගුවන් හමුදාව තුළ වාචික බ්ලැක් ලිස්ට්කර තිබුණා. මේ සම්බන්ධයෙන් අපි ශ්‍රේෂ්ඨාධිකරණයට FCR 132/2023 කියන නඩුව ගොනුකළා. ජාතික ජන බලවේගය විසින් සංවිධානය කළ ගම්පහ දිස්ත්‍රික්කයේ රැස්වීමක සම්පත් තුයියකොන්තා මහත්මා කළ කතාවක් පදනම් කරගෙන බ්ලැක් ලිස්ට් කර තිබුණා. මේ සම්පූර්ණ කතාව අපි ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විනිශ්චයකාර මණ්ඩලයට ඇහෙන්න සැලැස්වූවා. ගෝඨාභය රාජපක්ෂ, සරත් ෆොන්සේකා, සරත් වීරසේකර, කමල් ගුණරත්න වගේ විශ්‍රාමික හමුදා නිලධාරීන්ට දේශපාලනය කරන්න තිබෙන අයිතිය සම්පත් තුයියකොන්තා මහත්මාට නැත්තේ ඇයි කියන ප්‍රශ්නය අපි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළා. ගුවන් හමුදාව වෙනුවෙන් පෙනීසිටි නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරියට තම පාර්ශ්වය වරදක් කර ඇති බව පිළිගන්න සිදුවුණා. ඊළඟ නඩු දිනය 2024 ජනවාරි 10වැනි දින වන විට අදාළ තහනම් කිරීම් ඉවත් කර, ඒ බව ශ්‍රේෂ්ඨාධිකරණයට ලිඛිතව දැනුම් දෙන්න නියමිතයි. සම්පත් තුයියකොන්තා මහත්මාට ලිඛිතව දැනුම් දෙන්න නියමිතයි.

ඉන් නොනැවතී මේ සාමූහිකයට යම් යම් බලපෑම් සිදුකරමින් සිටිනවා. අපි ඔවුන්ට මතක් කර දෙන්න ඕනෑ, මේ රටේ ආර්ථික ඝාතනයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, කැබිනට් මණ්ඩලය, මහා භාණ්ඩාගාරයේ ලේකම්, මහ බැංකුවේ අධිපති ඇතුළු නිලධාරීන් වගකිව යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දු කර තිබෙනවා. ඒ වගේම පාස්කු ප්‍රහාරයට අදාළ නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සිට පහළට වැරදිකරුවන් කර, වන්දි ගෙවීමටත් නියම කර තිබෙනවා. මේ වගේ පසුබිමක සම්පත් තුයියකොන්තා මහත්මාගේ මූලික අයිතීන් උල්ලංඝනය කර ඇති බව වගඋත්තරකරුවන් පිළිගෙන තිබියදීත් තවදුරටත් බලපෑම් සිදුකරමින් පවතිනවා. අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත්වයි දේශපාලනය කරන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ 14 (1) යටතේ ලබාදි තිබෙන අයිතිය පදනම් කරගෙන ජාතික ජන බලවේගයේ අදිටන විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය දේශපාලනය කරගෙන යනවා. ඒ අයිතියට නෛතිකය අභියෝග කරන්න කිසිවෙකුටත් බැහැ.
රනිල් වික්‍රමසිංහ අධිකරණයට ඇඟිල්ල දිගුකර පටන් ගත් ආකාරය අපට මතකයි. ඊ.පී.එෆ්. සහ ඊ.ටී.එෆ්. නඩු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට බලපෑම් කරන්න අධිකරණයට බැරි බව රනිල් වික්‍රමසිංහ කීවා. ඊට පස්සේ කථානායකත් ඒ බව කීවා. කුළුණු තුනෙන් එකකට තර්ජනය කළ ඔවුන් ගෙන යන මේ ගමන ලබන අවුරුද්දේ අගෝස්තුවලින් කෙලවර වෙනවා. එයට බයවුණු මේ නිහීන ආණ්ඩුව තමන්ගේ පොලීසිය පාවිච්චි කර, නැගී එන විරෝධය මර්දනය කරන්න බලනවා. විශ්‍රාමික සාමූහකයේ පවුල්වල අයට බලපෑම් කිරීමේ අදහසින් විවිධ බාධා සිදුකරනවා. ආණ්ඩුවේ මේ නිහීන ක්‍රියාමාර්ගවලට ජාතික ජන බලවේගය බය වෙන්නේ නැති බව අපි අවධාරණය කරනවා. මේ සාමූහිකයට සිදුකරන සියලු කෙනෙහිලිකම් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානය පෙනී සිටිනවා. ලංකාවේ කුමන ප්‍රදේශයක සිට මේ සාමූහිකයට කෙනෙහිලිකම් කළත් අපි ඒ ඕනෑම ස්ථානයක සිට පෙනී සිටිනවා. ඒ සාමාජිකයින්ගේ අයිතිවාසිකම් ආණ්ඩුවේ බියගුළු, නිහීන තුච්ඡ, වැඩවලින් මර්දනය කළ නොහැකි බවත් ආණ්ඩුවේ මේ ක්‍රියාමාර්ග වහාම නතර කරන ලෙසත් අවධාරණය කරනවා. අපි ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළත් නීතියේ රාමුව තුළත් සියලු කටයුතු කරන අතර, ඊට පිටින් කිසියම් කෙනෙක් සිදුකරන බලපෑම්වලට යටත් නොවන බවත් අවධාරණය කරනවා.”

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්