ආර්ථිකය ගොඩනැඟීමට පෞද්ගලික අංශයේ යෝජනා ලබන වසරේ ඉදිරිපත් කිරීමට නියමිත අයවැය ලේඛනය සඳහා ඇතුළත් කිරීමට සාකච්ඡා පැවැත්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රවෘත්තියක් පල කර තිබේ.
එම සාකච්ඡාව සඳහා ලංකා වාණිජ මණ්ඩලය ඇතුළු පෞද්ගලික අංශයේ ප්‍රබල සංවිධානද සහභාගී වී සිටි බව එම ප්‍රවෘත්තියෙන් වැඩි දුරටත් සඳහන් කර තිබිනි.
එහෙත් ලබන වර්ශය වෙනුවෙන් අමාත්‍යාංශ සඳහා ප්‍රාග්ධන වියදම් සහ පුනරාවර්තන වියදම් දැරීම පිළිබඳ විසර්ජන පනත් කෙටුම්පත මුදල් ඇමති ලෙස රනිල් වික්‍රමසිංහ විසින් පසුගිය 07 වෙනිදා ඉදිරිපත් කර තිබිණි. ඒ අනුව ලබන වසර වෙනුවෙන් අමාත්‍යාංශවලට වෙන් කෙරෙන මුළු වියදම්වල එකතුව රුපියල් කෝටි 386,084ක් වී තිබිණි.
එලෙස විසර්ජන කෙටුම්පතින් මුදල් වෙන් කරන ආකාරය සවිස්තරව එළිදැක්වීමෙන් පසුව අයවැය සඳහා යෝජනා ඉදිරිපත් කරන බවට මාධ්‍ය සංදර්ශන පැවැත්වීම බොරු ප්රචාරකවාදී ක්‍රියාවකි. එයට හේතුව අයවැය ලේඛනය කියවීමේදී නව යෝජනා වශයෙන් ඉදිරිපත් කෙරෙන්නේ ඉතාමත්ම සුළු වියදම් ප්‍රමාණයක් පමණක් නිසාය. ගෙවී යන මෙම 2023 වසර වෙනුවෙන් මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ එවැනි අයවැය යෝජනාවල සමස්ත වියදම් ඇස්තමේන්තුව රුපියල් කෝටි 5000කට අඩුය.
මෙසේ තිබියදී අයවැය සඳහා පෞද්ගලික අංශයේ යෝජනා ලබා ගන්නා බව ප්‍රචාරය කිරීම හුදු මාධ්‍ය සංදර්ශනයක් පමණක් බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.










