එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට ජනාධිපති විම සඳහා සහයෝගය ලබාදුන් සහ ආණ්ඩුව පවත්වාගෙන යාමට සහයෝගය ලබා දෙන තම පක්ෂයට සලකන ආකාරය ගැන ඉතාම කනස්සල්ලට පත්වන බවත් කෙහෙලිය රඹුක්වැල්ල සෞඛ්‍ය ඇමති ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගත තීරණය අදූරදර්ශී එකක් බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසයි.
ඔහු මේ බව පවසන්නේ කෙහෙලිය රඹුක්වැල්ල සෞඛ්‍ය ඇමති ධුරයෙන් ඉවත් කිරීම හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තව තවත් ඇමති ධුර ලබාදීම සම්බන්ධයෙන් අද (23) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිණි.
පසුගිය කාලයේ ඇමති කෙහෙලිය රඹුක්වැල්ලට එරෙහිව ඉදිරිපත් කළ සියලු චෝදනා බොරු බව ඔප්පු වූ බවත් ජනාධිපති වුවද වැරැද්දක් කළ විට වැරදිබව කීමට නොපැකිලෙන බවත් ඒ අනුව මෙම වැරදි වැඩේ වැරදි වැඩක් ලෙස පෙන්වා දෙන බවත් ලේකම් සාගර කාරියවසම් පවසයි.
කෙහෙලිය ඉවත් කිරීම ගැන තම පක්ෂය ඉතාම කනස්සල්ලට පත්වන බව පවසන ඔහු “ජනපතිවරයාට ජනපතිකම අරන් දුන්නේ සහ පවත්වාගෙන යෑමට ශක්තිය දෙන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ” යැයි කියා සිටී. “ශ්‍රීලනිපයේ ඉන්නා 5 දෙනාට වැඩි සැලකිල්ලක් දැක්වීම කනස්සල්ලට කරුණක්” යැයිද ඔහු අවධාරණය කරයි.
ජනපතිවරයා තම පක්ෂයට මෙසේ සැලකීම දැඩි වේදනාවට කරුණක් බවත් ඉදිරියේදී පක්ෂයක් ලෙස මේ ගැනද සිතමින් කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.










