මෙරට ක්රිකට් ක්රීඩාව සම්පූර්ණයෙන්ම වනසා දැමීමට වර්තමාන පාලක මණ්ඩලයේ බහුතරයක් ක්රියා කළ ආකාරය පන්දුවාර 20 / 20 ලෝක කුසලාන තරඟාවලියට අදාළව නිකුත් කරන ලද විගණකාධිපති වාර්තාවෙන් කරුණු සහිතව අනාවරණය වී තිබේ.
ශ්රී ලංකා ක්රිකට් පාලක මණ්ඩලයේ සභාපති ශම්මි ද සිල්වා ඇතුළු නිලධාරීන් එම ලෝක කුසලාන තරඟාවලිය නැරඹීමට පවුල් පිටින් රැගෙන යාමත් හිතවතියන් සහ තවත් පිරිස් රැගෙන යාමත් සම්බන්ධයෙන් ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ මුදල් විශාල ප්රමාණයක් වියදම් කරන ලද ආකාරයට එම විගණන වාර්තාවෙන් හෙළිකර තිබේ.
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා වෙනුවෙන් රුපියල් ලක්ෂ 122ක් වියදම් කර ඇති අතර ඒ පිළිබඳ තොරතුරු හෙළිවීමත් සමඟ රුපියල් 767,550ක මුදලක් ආපසු ආයතනයට ගෙවා ඇත. ඔහු ක්රිකට් පාලක මණ්ඩලය වෙනුවෙන් 21 දෙනෙකුගෙන් සමන්විත පිරිසකට වීසා ලබා ගැනීම සඳහා ලිපියක් නිකුත් කර තිබිණි.
එම පාලක මණ්ඩලයේ ලේකම් මොහාන් ද සිල්වා වෙනුවෙන් රුපියල් 5,444,681 ක් ද උප සභාපති ජයන්ත ධර්මදාස වෙනුවෙන් 5,001,985 ක් ද උප ලේකම් රවී වික්රමරත්න වෙනුවෙන් 5,007,494ක් ද භාණ්ඩාගාරික ලසන්ත වික්රමසිංහ වෙනුවෙන් රුපියල් 2,858,124 ක මුදලක් ද සහකාර භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද වෙනුවෙන් රුපියල් 2,087,234ක් ආදී වශයෙන් වියදම් කර තිබිණි.
පාලක මණ්ඩලයේ ඉහල පුටු දරන්නන් මේ ආකාරයෙන් මහජන මුදල් විසිකර වගකීම් විරහිතව ක්රියා කිරීමත් සමඟ ක්රීඩකයන් ද විනය විරෝධී කටයුතුවලට පෙළඹීම සහ රට මෙන්ම කණ්ඩායම් හැඟීමෙන් තොරව ක්රියා කිරීම නිසා මෙරට ක්රිකට් ක්රීඩාව සම්පූර්ණයෙන් බිඳ වැටී පවතී.










