මැදපෙරදිග ඇතුළු විදේශ රටවල ගෘහ සේවයට යන මෙරට කාන්තාවන්ට මුහුණ දීමට සිදුව ඛේදවාචකයන් පිළිබඳව දිනෙන් දින වාර්තා වන අතර එවැනිම තවත් සිදුවීමකට සෞදි අරාබියේ ගෘහ සේවයට ගොස් සිටි මාතලේ ඇල්කඩුවේ කාන්තාවකට මුහුණ දීමට සිදුව ඇති බව වත්තේගම පොලිසිය පවසයි.
එම කාන්තාව සෞදි අරාබියේ ගෘහ සේවයේ සිටීයදී ගෙහිමියන් විසින් කොන්ක්‍රීට් ඇණ පහක් සහ රෙදි වියළීමට උපයෝගී කර ගන්නා යකඩ ස්ප්‍රින් කැබැල්ලක් ගිල්ලවූ බවත් මෙම ගෘහ සේවිකාව සෞදි රෝහලක වෛද්‍යවරයෙකුගේ මැදිහත් වීමෙන් තානාපති කාර්යාලය හරහා මීට දින කිහිපයකට ඉහත දී ලංකාවට ගෙන්වා ගනු ලැබ ඇති බවත් පොලිසිය සඳහන් කරයි.
ආහාර වෙනුවට කොන්ක්‍රීට් ඇණ ගිල්ලවා ඇත්තේ සෞදි අරාබියේ තායිඩ් ප්‍රදේශයේ ගෘහ සේවිකාවක ලෙස සේවය කරමින් සිටි එම්.එස්. ත්‍යාගා සෙල්වි නැමැති 21 හැවිරිදි එක් දරු මවකටය. තම දියණියට සිදු වූ මෙම අපරාධය පිළිබඳව ඇයගේ මව ත්‍යාගු කුමා වත්තේගම පොලිසියට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක්ද කර ඇත.
තමා කොළඹ පෞද්ගලික විදේශ රැකියා ආයතනයකින් ජුනි මාසයේදී ගෘහ සේවය සඳහා ගිය බවත් එහිදී ආහාර පාන නොදී දැඩි පීඩනයකට පත්ව සිටින අවස්ථාවක තමා දුරකථනය හරහා ආහාර නොමැති බව පැවසීමෙන් හා රැකියා නියෝජිත ආයතනයට ඒ බව දැන්වීම නිසා උරණ වූ නිවසේ හිමිකාරිය සහ ඇයගේ මව එක්ව ඉතා අමානුෂික අන්දමින් පහර දී කොන්ක්‍රීට් සඳහා ගසන සුදු පැහැති ඇණ පහක් ගිල දමන ලෙස බල කරමින් පහර දුන් බව ඇය සඳහන් කරයි.
කම්බි ගිලීම ප්‍රතික්ෂේප කළ අවස්ථාවේදී පහරදී ගිල්ලවූ බවද ඇය සඳහන් කරයි. පසුව රෙදි වියළීම සඳහා උපයෝගී කරගන්නා සුදු යකඩ වලින් නිෂ්පාදිත ස්ප්‍රීන් එකක් ගිල්ල වූ බවත් එම යකඩ කැබැල්ල උගුරේ සිරවූ බවද ඇය හැඬු කඳුළින් සඳහන් කර තිබේ.
දින කිහිපයක් මේ ආකාරයෙන් පසු වෙද්දී එකවරම තමන්ගේ උදරයෙන් මුඛයෙන් ලේ වහනය වන්නට වූ අවස්ථාවේ එම නිවැසියන් තමන්ව එරට රෝහලකට රැගෙන ගිය බවත් වෛද්‍යවරු තමා පරික්ෂා කළ අවස්ථාවේදී උදරයේ යකඩ ඇණ පහක් දැක ඒ සඳහා ප්‍රතිකාර ලබා දීමට ඉදිරිපත් වූ බවත් එම්.එස්. ත්‍යාගා සෙල්වි සඳහන් කරයි.
ලංකාවට පැමිණ මහනුවර රෝහලේ දී පරික්ෂා කිරීමේදී තවත් ඇණ දෙකක් තම කුස තුළ තිබෙන බව එක්ස්රේ වලින් පෙනී ගිය බවද ඇය සඳහන් කරයි. එක ඇණයක් දින දෙකකට ඉහතදී වෛද්‍යවරුන් එළියට ගත් බවත් තවත් යකඩ ඇණයක් තමන්ගේ උදරයේ පිට කොන්ද ප්‍රදේශයේ රැඳී තිබෙන බවත් ඇය සඳහන් කරයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විදේශ රැකියා ආයතනය දැනුවත් කළද ඔවුන් කිසිම ප්‍රතිචාරයක් නොදැක්වූ බවද එම කාන්තාවගේ මව කියා සිටී. සැමියාගෙන් වෙන්වී දරුවෙකු සමග තනිව ජීවත් වන තම දියණිය දරුවාගේ අනාගතය සඳහා විදේශගත වූ බවද ඇය හැඬු කඳුළින් පවසයි.
මෙවැනි දෙයක් යළි කිසිදු අයකුට සිදු වන්නට ඉඩ නොතබන ලෙස ඇය බලධාරීන්ගෙන් ඉල්ලීමක්ද කරයි.
වත්තේගම පොලිසියේ නිලධාරීන් පැය හතරක පමණ කාලයක් මෙම ගෘහ සේවිකාවගේ ප්‍රකාශ සටහන් කර ගෙන ඉදිරි විමර්ශන සිදුකරයි.
මේ පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව වත්තේගම පොලිසිය සඳහන් කරයි.











