රනිල්ගේ සමාජ මාධ්‍ය මර්දනය ආපසු හරවමු – එරංග ගුණසේකර

රනිල්ගේ සමාජ මාධ්‍ය මර්දනය ආපසු හරවමු – එරංග ගුණසේකර

“පසුගිය කාලය තුළ මාධ්‍ය ජාලා තුළ ක්‍රියාත්මක වූ තරුණ තරුණියන්ට, ප්‍රගතිශීලී සියලු දෙනාට අපි ආරාධනා කරනවා, ඔබට එරෙහි වන මේ ක්‍රියාමාර්ග ඉතාමත් හොඳින් තේරුම්ගෙන එයට එරෙහිව මැදිහත් වෙමු. අපේ රටේ මාධ්‍ය ජාලාවලට අත තැබූ නායකයෝ දෙන්නෙක් හිටියා. ඒ දෙදෙනාටම ගෙදර යාමට සිදුවුණා. මෛත්‍රීපාල, ගෝඨාභය මාධ්‍ය සමග සෙල්ලම් කළා. එයාලට ගෙදර යන්න සිදුවුණා. මාධ්‍ය තුළ ක්‍රියාත්මක වන සියලු දෙනාට කියන්නේ ඔබේ හඬ අවදි කරන්න. අදහස් ප්‍රකාශ කරන්න. මේකට විරුද්ධව ලියන්න. ලොව පුරාත් ලංකාව පුරාත් ඉන්න සියලු දෙනාට අපි ආරාධනා කරනවා. අපි මේ වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙනවා. මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම්, භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය උල්ලංඝනය කර තිබෙනවා. එයට ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නවා. මේ පාලකයෝ බයවෙලා තිබෙන්නේ මහජන බලයට. අපි ඒ වෙනුවෙන් පෙරමුණ ගැනීමට සූදානම්. සමාජවාදී තරුණ සංගමයත්, සමාජ මාධ්‍ය ජාලා තුළ ප්‍රගතිශීලී ලෙස වැඩකරන, ඒ වෙනුවෙන් සටන් කිරීමට කැමති, සියලු දෙනා ඒකාබද්ධ කරගෙන එළඹෙන 26 වැනිදා සවස 4.00ට මෙයට එරෙහිව උද්ඝෝෂණ ක්‍රියාමාර්ග අපි ආරම්භ කරනවා. භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස පතන, මර්දනයට එරෙහිවන, සියලුම දෙනාට සහභාගී වන ලෙස අපි ආරාධනා කරනවා. මේ පනතට විරෝධය දැක්වීමට හැකි විවිධ නිර්මාණ ඇසුරින් විරෝධය දක්වන්න. මිනිසුන් අවදි කරන්න. බය නැතිව ලියන්න. මේ රනිල්ගේ ක්‍රියාවලිය ආපස්සට හරවන ක්‍රියාවලියේ ආරම්භක දිනය 26දා බවට පත්කර ගනිමු.” යැයි සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කර සිටියේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (22) පෙරවරුවේ පැවති සමාජවාදී තරුණ සංගමයේ මාධ්‍ය හමුවක් අමතමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර,

“රනිල් රාජපක්ෂ ආණ්ඩුව මේ රටේ ජනතාවට එකම අයිතිය බවට පත්වෙලා තිබෙන කතා කිරීමේ හා නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැතිකරන්න හදනවා. ඒ වෙනුවෙන් තමන් අටවා ගත් පාර්ලිමේන්තුව ඇතුලේ නීති සම්මත කරන්න ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. අපි දැක්කා පී.ටී.ඒ. එක වෙනුවට ඒ.ටී.ඒ. එක ගේන්නත් ඒ වගේම තමන්ට අවනත නොවෙන මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන බය ගැන්වීම සහ වැළැක්වීම වෙනුවෙන් විකාශන අධිකාරී පනත් පසුගිය කාලයේ ඉදිරිපත් කළා. එහි තවත් දිගුවක් ලෙසට සැප්තැම්බර් මස 15දා රනිල් හා ටිරාන් අලස් එකතු වෙලා මාර්ග ගත ක්‍රමවේදයේ සුරක්ෂිතභාවය පිළිබඳ පනතක් (ඔන් ලයින් සේෆ්ටි පනත) ඉදිරිපත් කර තිබෙනවා. මෙහි දේශපාලන අරමුණ අපට තේරුම් ගත හැකියි.

පසුගිය ආණ්ඩු වගේම රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ දේශපාලන ගමන බවට පත්වී තිබෙන්නේ ණයට කෑම, විකුණන් කෑම සහ හොරා කෑමයි. ඒ නිසා රනිල්ලට ‘අයි.එම්.එෆ්. සරණං ගච්ඡාමි’ කියන එක හැරුණු කොට වෙනත් උත්තරයක් නැහැ. අපේ රටේ ජනතාවගේ, තරුණයන්ගේ, වෘත්තිකයන්ගේ සියලු අයිතිවාසිකම් කප්පාදු කරන එක පමණයි අයි.එම්.එෆ්. එකේ ක්‍රියාමාර්ගය වී තිබෙන්නේ. ඒ නිසාම අයි.එම්.එෆ්. එකේ කොන්දේසි තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට රනිල් රාජපක්ෂලාට සිදුවෙනවා. ඒ හැරුණු වෙනත් ක්‍රියාමාර්ගයක් ඔවුනට නැහැ. ඒ නිසා මේ රටේ ජනතාව කොතරම් විරෝධය පෑවත් ඊ.පී.එෆ්. එකට ඊ.ටී.එෆ්. එක මත බදු ගැහීම තීන්දු කරන්නේ. ඒ වගේම ලයිට් බිල්, වතුර බිල්, ගෑස් බිල් සියල්ලම වැඩි කිරීමට සිදුවෙන්නේ අයි.එම්.එෆ්. එකට අදාළ ක්‍රියාමාර්ග තෝරා ගැනීම නිසා. අපේ අධ්‍යාපනය, සෞඛ්‍යය කඩා වැටිලා. ඒවාට වෙන්කරන මුදල් අඩු කරමින් අයි.එම්.එෆ්. එක මත යැපීමට රනිල් රාජපක්ෂලාට සිදුවී තිබෙනවා.

මේ ක්‍රියාවලිය ජනතාවට සුබවාදී ක්‍රියාවලියක් වෙන්නේ නැහැ. ඒ නිසාම ඒකට විරුද්ධව ජනතාව ඉදිරියට එද්දී එය වැළැක්වීමට රනිල්ලා සූදානම් වෙමින් ඉන්නවා. තමන්ගේ අයිතීන් ඉල්ලා සිටින ජනතාව තරුණ තරුණියන් ත්‍රස්තවාදීන් බවට පත්කිරීමට තමයි, පී.ටී.ඒ. එක වෙනුවට ඒ.ටී.ඒ. එක පත්කරලා ලීෆ්ලට් එකක් ලියන කෙනා පවා ත්‍රස්තවාදියෙක් බවට පත්කරලා හිරේ දමා බය කරන්නයි මේ පනත් ගේන්න සූදානම් වෙන්නේ. ඒ වගේම සමහර මාධ්‍ය ආයතන, මාධ්‍යවේදීන් බය ගන්වන්න, ඔවුන්ගේ විකාශන අයිතිය අවලංගු කර දැමීමට තමයි විකාශන පනත් ගේන්නේ. මේ රටේ ජනතාවට ස්වාධීනව තමන්ට ගැලපෙන අදහසක් ලියන්න, තමන්ට අවශ්‍ය ඡායාරූපයක් දාන්න, දේශපාලන විවේචනයක් කරන්න තිබුණු තැන තමයි සමාජ මාධ්‍ය ජාලා හෙවත් සෝෂල් මීඩියා. ‘ඔන් ලයින් සේෆ්ටි’ පනත මගින් එය තහනම් කිරීමට, මර්දනය කිරීමට රනිල් රාජපක්ෂලා සූදානම් වෙන්නේ.

මෙම පනතින් ඉදිරිපත් කරන කරුණු ටිකක් තිබෙනවා. ‘ඔන් ලයින් සේෆ්ටි ඇට්’ එකේ පූර්විකාව ඉතා හොඳ වගේ පෙනෙනවා. අසත්‍ය ප්‍රකාශ, වෛරී ප්‍රකාශ, වැරදි තොරතුරු දමා මුදල් එකතු කිරීම්, මේවා තහනම් කළ යුතුයි. නතර කළ යුතුයි, එයට අදාළව දඬුවම් දිය යුතුයි. බැලූ බැල්මට එය හොඳයි වගේ පෙනෙනවා. මෙය පිටු හැට ගණනකින් යුක්තයි. එය ඇතුළත විමසා බැලූ විට රනිල්ලාගේ සැබෑ දේශපාලනය අරමුණ වැටහෙනවා. මේ රටේ දේශපාලනයේ බොරු කිව්වේ මේ රටේ ජනතාවද? නැහැ. ඉතා සාවද්‍ය තොරතුරු, වෛරී සහගත ප්‍රකාශ, වැරදි සහගත ලෙස ජනතාව පළ කළේ හිටපු පාලකයෝම තමයි. වඳ කොත්තු, වඳ වෛද්‍යවරු වැනි ප්‍රකාශ කළේ පාලකයෝම තමයි. ඒගොල්ලෝ දේශපාලනික උපක්‍රම ලෙස මේවා පාවිච්චි කළා. සමාජ මාධ්‍ය ජාලාවල පළවෙන වැරදි දේ අපි අනුමත කරන්නේ නැහැ. ඒ සඳහා නිශ්චිත ක්‍රමවේදයක් හැදිය යුතුයි.

දූෂණය වැළැක්වීමේ පනතක් සම්මත කර ගත්තා. නමුත් දූෂණය නතර වෙලාද? දූෂණ කරන අයට දඬුවම් ලැබෙනවාද? මේ පනත්වල මතුපිට අයිසිං තිබුණාට යටින් තිබෙන්නේ විෂ කේක්ම තමයි. මේක අධ්‍යයනය කරන කොට අපිට එය හොඳින් පේනවා. ‘ඔන්ලයින් සේෆ්ටි ඇට්’ එක අනුව මූලිකවම ස්වාධීන කොමිෂන් සභාවක් පත්කරනවා. මෙම කොමිෂන් සභාව පත්කරන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ. මෙහි සාමාජිකයන් පස්දෙනයි. සභාපති පත්කරන්නේත් ජනාධිපති. අස්කිරීමට හැකියාව තිබෙන්නේත් ජනාධිපතිට. මේ පස්දෙනාගෙන් බහුතරය තුන්දෙනයි. සභාපති නොමැති විට උපසභාපතිත් සමග තිදෙනාට රැස්වීමටත්, තීන්දු තීරණ ගැනීමටත් හැකියාව තිබෙනවා. අපි පාවිච්චි කරන ෆේස් බුක් එක, යූ ටියුබ් එක, ඉන්ට්‍රොගෑම්, විවිධ සමාජ මාධ්‍ය ජාලා සියල්ලම නිවැරදිද කියා තීන්දු කරන්න මේ කොමිෂන් එකේ දෙදෙනෙකුට කළ හැකියි. රටේ විධායකය නැතිනම් රනිල් වික්‍රමසිංහ පත්කරන එක කොමිෂන් සභාවක්වත් අපිට සාධාරණය ඉෂ්ට කර නැහැ. ස්වාධීන කොමිෂන් සභාවලින් අපට සාධාරණය ඉටු වුණාද? මැතිවරණ කොමිෂන් සභාවෙන් අපට සාධාරණය ඉටු වුණාද? එම කොමිෂන් සභා පාර්ලිමේන්තුවේ අයත් ඇතුළුව පිහිටුවාගත් කොමිෂන් සභාවෙන් ඉටු නොවුණු සාධාරණය විධායකයේ බලතල සහිතව පත්කරන කොමිෂන් සභාවෙන් සාධාරණය ඉටු වේවිද? මෙයින් සිදුවෙන්නේ ආණ්ඩුව තමන්ට රිසිසේ සමාජ මාධ්‍ය ජාලා හැසිරවීමේ අයිතිය තහවුරු කරගැනීමයි.

මේ කොමිෂමේ පස්දෙනාට බලතල කිහිපයක් තිබෙනවා. එකක් තමයි ඒගොල්ලන්ගේ කොන්දේසිවලට අනුව සමාජ මාධ්‍ය ජාලා ලියාපදිංචි කළ යුතුයි. ඒගොල්ලන් හඳුන්වා දෙන නව ආචාර ධර්ම පද්ධතියකට අපි කැමති විය යුතුයි. එසේ කැමති වුණොත් පමණයි අපිව ලියාපදිංචි කරන්නේ. ලියාපදිංචි වුණොත් විතරයි අපට ලංකාව තුළ සෝෂල් මීඩියා පාවිච්චි කළ හැකි වන්නේ. අපි ලියන අදහස, අපි කියන කතාව හරිද වැරදිද, ඉවත් කිරීම, තහනම් කිරීම, දඬුවම් දෙනවාද කියා කියා තීරණය කරන්නේත් රනිල් විසින් පත්කරන රූකඩ කමිටුව.

මේ ගැසට් එක පුරාවට වචන කිහිපයක් තිබෙනවා. ‘අසත්‍ය ප්‍රකාශ’, ‘තහනම් ප්‍රකාශ’, සහ ‘සිද්ධීන්’ ලෙස. නමුත් කිසිම තැනක ඒ වචන අර්ථකථනය කර නැහැ. මෙහි අවසානයේ සිදුවන්නේ රනිල්ලාට ගැලපෙන ආකාරයට රූකඩ කමිටුවට අවශ්‍ය ආකාරයට මිස ජනතාවගේ පැහැදිලි කිරීමකට අනුව නොවේ. මේ කොමිෂන් සභාව අපට වරදක් කර තිබෙනවා, කියා හැඟුණොත් එයට සිවිල් හෝ අපරාධ නඩුවක් මේ කොමිෂන් සභාවට පත්කිරීමට නොහැකියි. මේ කොමිෂන් සභාව අපට විරුද්ධව තීන්දු තීරණයක් ගතහොත් අපෙන් අදහසක් විමසන්නේ වත් නැහැ. මේ පනත සම්මත වුවහොත් අපේ ජනතාවගේ භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය මුළුමනින්ම ප්‍රතික්ෂේප වෙනවා, එය උල්ලංඝනය වෙනවා. මෙහි 12වැනි වගන්තියේ සිට 23වැනි වගන්තිය දක්වා තැන් ගණනාවක තහනම් ප්‍රකාශ ලෙස දක්වා තිබෙනවා. 12වන වගන්තියේ තිබෙනවා ‘අසත්‍ය ප්‍රකාශ’ සන්නිවේදනය කිරීම මඟින් ජාතික ආරක්ෂාවට, මහජන සෞඛ්‍යයට, මහජන සාමයට පන්තීන් අතර වෛරය අවුළුවන සහගත ප්‍රකාශ ගෙනාවොත් එය වැරදියි. එයට දඬුවම් දිය හැකියි කියා. මේ දඬුවම ලෙස වසර පහක් සිර දඬුවම් හිමිවෙනවා. එම වරද නැවත සිදුකළොත් වසර දහයකට සිර දඬුවම් හිමිවෙනවා. මෙහෙම ගතහොත් අපට ආණ්ඩුව සිදුකරණ කිසිදු දෙයකට විරුද්ධව ලියන්න බැහැ. කතා කරන්න බැහැ. මෙහි 14වැනි වගන්තියේ ‘කැරලි ගැසීම වරදක් සිදුවිය හැකි බැවින් චේතනාන්විතව හෝ දැන දැනම යම් අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරිම වරදක්’ ලෙස දක්වා තිබෙනවා. එවැනි කැරලි ගැසීමක් නිර්මාණය වුවහොත් එයට අනුව වසර පහක් දඬුවම් ලබාදිය හැකියි. කැරලි ගැසීමේ තත්වයක් නිර්මාණය නොවුණහොත් අවුරුදු තුනකට සිර දඬුවම් දිය හැකියි. මේ කැරලි ගැසීම අර්ථකථනය කර නැහැ. රනිල්ට අනුව උද්ඝෝෂණය කිරීමක්, පා ගමනක්, යම් නිරූපණයක්, කැරලි ගැසීමක් විය හැකියි. මේ කැරලි ගැසීම තීරණය කිරීමේ බලය රනිගේ රූකඩ කොමිෂන් සභවට හිමිවෙනවා. මේක සම්පූර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කිරීමක්.

16වැනි වගන්තියේ ‘ආගමික හැසිරීම්වලට රිදවන ඒකායන අරමුණු සහගතව අසත්‍ය ප්‍රකාශ නිකුත් කිරීම වරදක්’ ලෙස දක්වා තිබෙනවා. රනිල්ලා මෙයින් අදහස් කරන්නේ කුමක්ද? එක ආගමකින් තවත් ආගමකට රිදුනා කියන එක මනින්නේ කෙසේද? මෙය වරදක් ලෙස තීන්දු කර කොමිෂන් සභාවට හැකියාව තිබෙනවා වසර දෙකක සිර දඬුවමක් ලබාදීමට. එම වරද නැවත සිදුකළ හොත් වසර හතක සිරදඬුවමක් බවට පත්වෙනවා. මේ වගන්ති සියල්ලම කේන්ද්‍රගත වෙලා තිබෙන්නේ මේකෙ තිබෙන මූල්‍ය වංචා නතර කිරීමට, ළමා අපචාර නතර කිරීමට, නොවෙයි. රනිල් රාජපක්ෂලාගේ දේශපාලනය අභියෝගයට ලක්වෙන පාර සුද්ද කර ගැනීමේ ක්‍රියාවලියක්.
රනිල්ගේ සිහිනය වී තිබෙන්නේ, උත්සාහ කරන්නේ හොඳින් හෝ නරකින් නැවත වතාවක් මේ රටේ ජනාධිපතිවීම. එයාට අභියෝගයක් වන, තර්ජනයක් වන මේ සියලු පාරවල් සුද්ද කර ගැනීමේ ක්‍රියාවලියක් බවට තමයි මේ පනත් ගේන්නේ. රනිල්ලාගේ රාජපක්ෂලාගේ අදහසක් මිස අපේ කිසිදු අදහසක් ඉදිරිපත් කිරීමට අවස්ථාව අපට අහිමි වෙනවා. මෙය සමාජ මාධ්‍ය ජාලා මර්දනය කිරීමේ පනතක් බවට පත්වෙලා තිබෙනවා. ඒ නිසා මේ පනත පරාජයට පත් කළ යුතුයි.

මේ රටේ ජනතාවට උද්ඝෝෂණය කිරීමේ, ප්‍රශ්න කිරීමේ අයිතිය බය ගන්වන්නත් අනෙක් පැත්තෙන් එයට අදාළ මර්දනය දියත් කරන්නත් රනිල් රාජපක්ෂලා සූදානම් වෙනවා. ඒ වගේම එගොල්ලන්ට අභියෝගයක් වන මාධ්‍යවේදීනුත්, මාධ්‍ය ආයතනත් මර්දනය කරන්න, බය කරන්න, විකාශන අයිතීන් තහනම් කරන්න විකාශන අයිතීන් පනත් ගෙනත් එමින් ඉන්නවා. තරුණ පරම්පරාව, ප්‍රගතිශීලී මිනිසුන් පාලකයන්ගේ හොරකම්, දූෂණයන්, වංචාවන් ගැන විවිධ නිර්මාණ තුළින්, ගීත හරහා, චිත්‍රපට හරහා, සමාජයට ප්‍රශ්න තේරුම්කර දුන්නා. මිනිසුන්ගේ විඥානය අවධි කළා.

පසුගිය කාලය තුළ මාධ්‍ය ජාලා තුළ ක්‍රියාත්මක වූ තරුණ තරුණියන්ට, ප්‍රගතිශීලී සියලු දෙනාට අපි ආරාධනා කරනවා, ඔබට එරෙහි වන මේ ක්‍රියාමාර්ග ඉතාමත් හොඳින් තේරුම්ගෙන එයට එරෙහිව මැදිහත් වෙමු. අපේ රටේ මාධ්‍ය ජාලාවලට අත තැබූ නායකයෝ දෙන්නෙක් හිටියා. ඒ දෙදෙනාටම ගෙදර යාමට සිදුවුණා. මෛත්‍රීපාල, ගෝඨාභය මාධ්‍ය සමග සෙල්ලම් කළා. එයාලට ගෙදර යන්න සිදුවුණා. මාධ්‍ය තුළ ක්‍රියාත්මක වන සියලු දෙනාට කියන්නේ ඔබේ හඬ අවදි කරන්න. අදහස් ප්‍රකාශ කරන්න. මේකට විරුද්ධව ලියන්න. ලොව පුරාත් ලංකාව පුරාත් ඉන්න සියලු දෙනාට අපි ආරාධනා කරනවා. අපි මේ වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙනවා. මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම්, භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය උල්ලංඝනය කර තිබෙනවා. එයට ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නවා. මේ පාලකයෝ බයවෙලා තිබෙන්නේ මහජන බලයට. අපි ඒ වෙනුවෙන් පෙරමුණ ගැනීමට සූදානම්. සමාජවාදී තරුණ සංගමයත්, සමාජ මාධ්‍ය ජාලා තුළ ප්‍රගතිශීලී ලෙස වැඩකරන, ඒ වෙනුවෙන් සටන් කිරීමට කැමති, සියලු දෙනා ඒකාබද්ධ කරගෙන එළඹෙන 26 වැනිදා සවස 4.00ට මෙයට එරෙහිව උද්ඝෝෂණ ක්‍රියාමාර්ග අපි ආරම්භ කරනවා. භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස පතන, මර්දනයට එරෙහිවන, සියලුම දෙනාට සහභාගී වන ලෙස අපි ආරාධනා කරනවා. මේ පනතට විරෝධය දැක්වීමට හැකි විවිධ නිර්මාණ ඇසුරින් විරෝධය දක්වන්න. මිනිසුන් අවදි කරන්න. බය නැතිව ලියන්න. මේ රනිල්ගේ ක්‍රියාවලිය ආපස්සට හරවන ක්‍රියාවලියේ ආරම්භක දිනය 26දා බවට පත්කර ගනිමු.”

Facebook
Twitter
LinkedIn