ශෂී වීරවංසට එරෙහි ව්‍යාජ හැඳුනුම්පත් නඩුව වෙනත් උසාවියකට යොමුකරයි

ශෂී වීරවංසට එරෙහි ව්‍යාජ හැඳුනුම්පත් නඩුව වෙනත් උසාවියකට යොමුකරයි

හිටපු ඇමති විමල් වීරවංසගේ බිරිඳ වන ශෂී වීරවංසට එරෙහි, රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමින් කූඨ ලෙස හැඳුනුම්පතක් සකස් කරගැනීම සම්බන්ධ නඩුව වහාම වෙනත් මහෙස්ත්‍රාත් අධිකරණයක් හමුවේ කැඳවීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය ඊයේ (11) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයාට නියෝග කර තිබේ.

මෙම නඩුව පවරා තිබුණේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසිනි.

එම නඩුව සම්බන්ධයෙන් මින් ඉදිරියට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයක් නොපවත්වන ලෙසටත්, නඩුව අද (12) කැඳවා කොළඹ අංක දෙක අතිරේක මහෙස්ත්‍රාත්වරිය හමුවට යොමු කිරීමට පියවර ගන්නා ලෙසටත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහිට වැඩිදුරටත් නියෝග කර ඇත.

පෙර නඩු දිනයේදී ශෂී වීරවංශට එරෙහිව නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාරිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි, අසනීප තත්වයෙන් පසුවන නිසා නඩුව වෙනත් දිනයකදී කැඳවන ලෙසට ඔහු වෙනුවෙන් පෙනී සිටි කනිෂ්ඨ නීතිඥවරයකු අධිකරණයෙන් ඉල්ලීමක් කොට තිබිණි. කනිෂ්ඨ නීතිඥවරයා කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කර වහාම නඩු විභාගය ආරම්භ කරන ලෙසට ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා බල කළ බව පෙන්වා දෙමින් ශෂී වීරවන්ස ගොනුකර තිබූ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි කළ කරුණු දැක්වීම් සලකා බැලූ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු එම නියෝග කර ඇත.

තමා අසනීප තත්වයෙන් පසුවීම නිසා එම ඉල්ලීම සිය කනිෂ්ඨ නීතිඥවරයා මගින් අධිකරණය හමුවේ කළ බවත් එකී සාධාරණ ඉල්ලීමට හෝ උගත් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඉඩ නොදී බලපෑම් කිරීම නිසා ඔහුගෙන් එම නඩුවේ ඉදිරි කටයුතුවලදී සාධාරණ විනිශ්චයක් අපේක්‍ෂා කළ නොහැකි බවත් ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා අභියාචනාධිකරණයට පෙන්වා දුන්නේය.

ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයාගේ අරමුණ වී ඇත්තේ අනිසි ප්‍රමාදයකින් තොරව නඩු විභාගය අවසන් කිරීම බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පෙන්වා දී ඇත.

කෙසේ නමුත් තවදුරටත් එම අධිකරණය හමුවේ නඩුව කැඳවීම සම්බන්ධයෙන් විත්තිය විරුද්ධත්වය දැක්වීම නිසා සුදුසු නියෝගයක් ලබාදීම ගැන විරුද්ධ නොවන බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අභියාචනාධිකරණයේදී සඳහන් කර තිබේ.

Facebook
Twitter
LinkedIn