පවතින දරා ගත නොහැකි ආර්ථික පීඩනය හමුවේ කුමන හෝ කුලී රැකියාවක් සොයා ගෙන ලක්ෂ ගණනින් රට හැර යන බව ආණ්ඩුවේ නිල සංඛ්‍යා ලේඛනවලින් හෙළිවී තිබේ.
මෙම වසරේ මුල් මාස 07 තුළ 200,387ක් විදේශ රැකියාවලට ගොස් ඇති අතර 2022 වසර පුරාම විදේශ ගතවී ඇත්තේ 310,967 දෙනෙකි. රජයේ නිල වෙබ් අඩවියේ පළකර තිබූ ප්රවෘත්තියක මෙම දත්ත ඇතුලත් කර තිබිණි.
මෙලෙස විශාල පිරිසක් රැකියා සඳහා විදේශ ගත වුවද, ඊට සමානුපාතිකව විදේශ රැකියා නියුක්තියන් මෙරටට එවනු ලබන විදේශ විනිමය ප්‍රමාණය ඉහල ගොස් නැති බවත් රජයේ දත්ත මගින් පැහැදිලි වේ. පසුගිය වසරේදී සහ මෙම වසරේ ගෙවී ගිය මාස 07 තුළ පමණක් 511,354ක් විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇත. එහෙත් මෙම වර්ෂයේ මුල් මාස 07 තුළ මෙරටට එවා තිබෙන්නේ ඩොලර් මිලියන 3,364ක් පමණි.
අලුතින් ලක්ෂ ගණනින් රට අත්හැර විදේශ ගතවීමට පෙර විශාල පිරිසක් විදේශ රැකියාවල නියුතුව සිටි අතර මෙම පිරිසද සමඟ සැසඳීමේදී මෙරටට විදේශ විනිමය එවීම අඩු මට්ටමක පවතී.










