මෙතෙක් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් වගා හානි සඳහා ගෙවා ඇති වැඩිම මුදල් ප්‍රමාණය මෙවර යල කන්නය සඳහා ගෙවීමට රජයට සිදුවනු ඇති බවත් එම මුදල් ප්‍රමාණය කෙතෙක්ද යන්න සිතා ගැනීමටවත් නොහැකි වනු ඇති බවත් කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර ඊයේ (10) අවධාරණය කර තිබේ.
ඔහු මේ බව අවධාරණය කර ඇත්තේ, වියළි කාලගුණයෙන් සිදු වූ වගා හානි සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ඩබ්.එම්.එම්.බී වීරසේකර සමග පැවති හමුවකදීය.
මෙවර යල කන්නයට බලපෑ වියළි කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක වගා හානි සිදු වී ඇතත් දැනට සිදු කර ඇති තක්සේරු කිරීම් අනුව මේ වනවිට වැඩිම වගා හානි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ඩබ්.එම්.එම්.බී වීරසේකර කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීරට එහිදී දැනුම් දී ඇත.
මේ අතර, වියළි කාලගුණයෙන් සිදු වූ වගා හානි සම්බන්ධව සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරි සතිය තුළ තමාට ලබා දෙන්නැයි කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර එහිදී කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් ලබා දී තිබේ.
හම්බන්තොට, මොනරාගල හා කුරුණෑගල යන දිස්ත්‍රික්කවලින් මේ වනවිට වගා හානි වීම් වැඩි වශයෙන් වාර්තා වී ඇති බවත් ඒ පිළිබඳ පූර්ණ සංඛ්‍යාලේඛන ඉදිරිපත් කළ හැක්කේ ගොවිජන රක්ෂණ නිලධාරීන් සිදුකරන තක්සේරු කටයුතු අවසන් වූ පසුව බවද කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසිංහ අවධාරණය කරයි.
එමෙන් මේ වනවිට හම්බන්තොට දිස්ත්‍රික්කයේ හෙක්ටයාර් 13,000ක් පමණද සුළු වාරිමාර්ග ආශ්රයෙන් වගා කළ ගොවි බිම් හෙක්ටයාර 196.2ක් පමණද මහවැලි කලාපයේ ගොවිබිම් 3,850ක් පමණද පූර්ණ ලෙස හානි වී ඇතැයි ඔහු සඳහන් කරයි.










