මීට වසර 04කට පමණ පෙර එවකට විපක්ෂ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වීරකැටිය නිවසේ පැවති උත්සවයක් සඳහා තාවකාලික විදුලිය සපයා ආරක්ෂක පහන් සවිකර විදුලිය ලබාදීම වෙනුවෙන් විදුලිබල මණ්ඩලයට ගෙවිය යුතු වූ රුපියල් ලක්ෂ 26කට අධික මුදල මෙතෙක් ගෙවා නැති බව අනාවරණය වේ.
ඒ බව අනාවරණය වන්නේ, 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත අනුව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නලීන් හේවගේ විසින් ලංකා විදුලිබල මණ්ඩලයෙන් ඒ පිළිබඳව 2023 අගෝස්තු 02 වනදා ලබාගෙන ඇති ලිඛිත තොරතුරු අනුවය.
“හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමා 2019 09 12 දින සිට 2019.09 15 දින දක්වා වීරකැටිය නිවසේ පැවති උත්සවයකට සහභාගි වන බව දන්වා ආරක්ෂක පහන් සවිකරන මෙන් ඉල්ලා ඇත. ඒ අනුව තාවකාලික විදුලිය සපයා ආරක්ෂක පහන් සවිකර විදුලිය ලබාදී නැවත එම උපකරණ ගලවා ඉවත් කර ඇති අතර, ආරක්ෂක පහන් සවිකිරීම සහ ජනක යන්ත්‍ර සැපයීම වෙනුවෙන් රු. 26,82,246.57 ක වියදමක් දැරීමට සිදුව ඇති බවත් එම වියදම් ඇස්තමේන්තු මුදල ගෙවීම් කරන ලෙස දන්වා ඇතත්, මෙතෙක් එම මුදල ගෙවීම් කර නොමැති බව කාරුණිකව දන්වා සිටිමි.” යනුවෙන් එහි සඳහන්ව තිබේ.
මහින්ද රාජපක්ෂ පුත් නාමල් රාජපක්ෂගේ විවාහ උත්සවය පැවතියේද උක්ත දිනවලදී වන අතර එවකට විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමති රවී කරුණානායක 2019.09.10 දින ලංකා විදුලිබල මණ්ඩලයට ලිපියක් යොමු කරමින් විපක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වීරකැටිය නිවසේ පැවැත්වෙන උත්සවය සඳහා ඉල්ලා ඇති විදුලි ජනන යන්ත්‍රය සහ ට්‍රාන්ස්ෆෝමරය වහාම සවි කරන ලෙස දන්වා ඇත.
ඊට අදාල සියළු ආම්පන්න ලිපිය යොමු කරන දින සිට 17 දක්වා දින 07 තුළම තැබිය යුතු බවද එවකට විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමති රවී කරුණානායක එම ලිපියෙන් දැනුම් දී තිබේ. එමෙන්ම මේ සඳහා වන අදාල ගෙවීම් පියවීම් රාජපක්ෂ පවුලේ සාමාජිකයින් විසින් සිදු කරනු ඇති බවද ඇමති රවී කරුණානායකගේ ලිපියෙන් විදුලිබල මණ්ඩලයට දන්වා තිබේ.










