හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක කටයුතුවලට යෙදවීමට යැයි කියමින් මුදල් එකතු කිරීම සඳහා බැංකු ගිණුමක් විවෘත්ත කිරිමට දරන ප්රයත්නය පිටුපස කළු සල්ලි සුදු කිරීමේ මහා ජාවාරමක් තිබිය හැකි බව මූල්‍ය විශ්ලේෂකයෝ අනතුරු අඟවති.
පසුගිය කාලයේ රාජපක්ෂ පවුල සහ සමීපතමයින් මහජන මුදල් කොල්ලකෑම පිළිබඳව සාක්ෂි සහිත තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, මුල්‍ය අපරාධ විමර්ශන පොලිස් කොට්ඨාසයට සහ අල්ලස් හෝ දූෂණ කොමිසමට ලැබී ඇත. මෙම තත්වය හමුවේ එම පිරිස් සතුව ඇති අයතා ලෙස උපයාගත් මුදල් මෙම බැංකු ගිණිමට බැර කිරීම හරහා නීත්‍යානුකූල කර ගැනීමේ උත්සාහයක් පැවතිය හැකි බව අනාවරණය කෙරේ.
විවිධ පුද්ගලයන් විසින් අදාළ බැංකු ගිණුමට මුදල් බැර කරන මුවාවෙන් මෙම අයථා මුදල් බැංකු ගත කළ හැකිය. මෙවැනි වටපිටාවක උපක්‍රමශීලී ලෙස කළු සල්ලි සුදු කිරීමට ඉතා පහසු මාර්ගයක් විවෘත වේ.
පැවිදි හඬ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ ලෝකයේ ඕනෑම රටක සිට මෙම ගිණුමට මුදල් තැන්පත් කළ හැකි බවය.
රාජපක්ෂ පවුලට අයත් මුදල් විදේශීය බැංකු ගණනාවක තැන්පත් කර තිබෙන බව විවිධ අවස්ථාවලදී හෙළිවී තිබේ. ඒ සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණද ආරම්භ වී ඇතැයි පැවසේ.









