දිගු කලක් තිස්සේ වදය අක්‍රීය වී ගියේ සමාජ පෙරළියකින් නූතන මිනිසුන් වදයන්ගෙන් නිදහස් වූ නිසා නොවේ. කුමන වදයක් තෝරා ගන්න දැ’යි අලූත් වදයක් ඇති වූ නිසාය. එහෙත් අප සියල්ලන්ට වදයෙන් නිදහස් වීමට බැරි ය. ඒ නිසාම මේ ගැන නොලියාම බැරිය. එන්න, අපි අලූත් වද සොයා ඇදෙමු. ඒ, මී බී මත්ව නැටීමට නොවේ.
දෙමාපියන් තම දරුවන්ට දෙන නොමසුරු ධනය අධ්‍යාපනයයි. වියතුන් සබා මැද තම සුජාත දූපුතුන් වාඩි කරවීමට ඔවුහු අසීමිත කැපකිරීම් කරති. අභාග්‍යය යනු ඔවුන්ට අකුල් හෙළන අධ්‍යාපන අමාත්‍යාංශයක් හා නිලධාරි පැළැන්තියක් සිටීමයි. මෙය වාචාලකමට කටට ආ පමණින් කියූවක් නොවේ. විචාරශීලීව බලන අයට ගෝචර වන්නකි.
මෙරට උපදින බොහෝ දරුවෝ සඳුන් ගැටක් අතින් ගෙන උපන් දරුවෝ නොවෙති. පීඩනය, දුප්පත්කම, කඳුළ දෝත දරා උපදින ඔවුන්ගේ අනාගතය ගොඩ නංවාලන එකම අත්වැල අධ්‍යාපනයයි. සෞභාග්‍යමත් පාර්ලිමේන්තුවක් හා අභිමානවත් ඇමති මණ්ඩලයක් උරුම වූ රටෙහි උදෑසන නිරාහාරව පාසල් යන දූ දරුවන් නැතුවා නොවේ. එවන් පසුබිමක් තුළ නොමිලයේ නිදහස් අධ්‍යාපනයක් ලබා දීමට වගකිව යුත්තන් අපොහොසත්ව ඇත. වාර්ෂික ව සෑම දරුවෙකුගෙන්ම මුදලක් අය කරන්නේ එම නොහැකියාව විසිනි. එය සීමිත පිරිසකට හැර සෙස්සන්ට වදයක් බව දන්නෝ දනිති.
අනපේකෂිතව සිදු වූ යහපාලන වෙනසත් සමග ජනතාවාදී මුහුණුවරක් පෙන්වමින් යහපාලන ආණ්ඩුව සියලු පාසල්වල මුදල් එකතු කිරීම නවතාලන චක්‍රලේඛයක් නිකුත් කළේය. රට වැස්සෝ අමන්දානන්දයට පත් වූහ. එහෙත් එය කුරුල්ලන්ට වැට බැඳීමකි. ආදි නූගත් ගැමියා කුරුල්ලන්ට වැට බැන්දේ නැත. ඒ වෙනුවට සිදු කළේ කුරුලු පාළුව වෙන් කිරීමයි. (කුරුල්ලන් සඳහාම කුඹුරෙන් කොටසක් වෙන් කිරීම.)
අපේ පින්වත්ව සිරිමත් වූ නායකකාරකාදීහු නූගත් ගැමියාට වඩා ප්‍රඥා වන්තයෝය. මෝඩ ගැමියා කුරුල්ලන් නිසා පාඩු විඳගත් නමුත් ඔවුහු එසේ නො කරති. එබැවින් අධ්‍යාපනයට වැය කරන මුදල ඉහළ දැමීමට කට ඇරෙන්නේවත් අත ඉස්සෙන්නේ වත් නැත. මන්ත්‍රී ආසන ගණන වැඩි කර ගැනීමට වලි කති. ඇමතිවරු බෝ වෙති. ඒ උතුමන්ගේ ආනුභාවය නිසා වරප්ර
සාද හා ප්රතිලාභ ඉහළ යයි. පාසල්වලට මුදල් අය කෙරේ. වාර්ෂිකව එක් දරුවෙකු රුපියල් දෙදහසක් තුන්දහසක් අතර මුදලක් ගෙවිය යුතුය. මෙය වදයක් සේ දැකීමට දෑස් අහිමි දෙමාපියෝ එවන් ඇමතිවරු නඩත්තු කරති. දෑස් හිමි වූවෝ දත්මිටි කති.
මෙහි තව දිගුවක් ලබන සතියේ…..









