හිටපු අගවිනිසුරුගෙන් ප්‍රශ්නකාරී ප්‍රකාශයක්

හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා ඊයේ (26) විද්වත් වෘත්තිකයන්ගේ සංගමයේදී වත්මන් ආණ්ඩුවටත් විශේෂයෙන්ම පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයටත් එරෙහිව සිදු කරන ලද ද්වේශ සහගත විවේචනය අද දින ශ්‍රේෂ්ඨාධිකරණදී විභාගයට ගැනෙන බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා විසින් පවරා ඇති මුලික අයිතිවාසිකම් පෙත්සමට බලපෑම් කිරීම සඳහා සිදු කළ සැලසුම් සහගත ප්‍රකාශයක් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ප්‍රචාරක ව්‍යාපාරය සැලසුම් කිරීම පිළිබඳව පැවති සාකච්ඡාවකට විමල් වීරවංස, වාසුදේව නානායක්කාර සහ නාත් අමරකෝන් යන පුද්ගලයින්, සරත් එන් සිලවා මහතා සමඟ සහභාගී වී ඇත. මෙම සැලසුම්කරුවන්ගේ අදහස වී ඇත්තේ දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින සියලු විනිසුරුවරුන් සරත් සිල්වා මහතාගේ කණිෂ්ඨයින් වන බැවින් සහ හිටපු අගවිනිසුරුවරයෙකු ලෙස ඔහු සිදු කරන ප්‍රකාශය මෙම නඩුවේදී අධිකරණයේ මතයට දැඩි බලපෑමක් සිදු කරනු ඇති බවය.

ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය සම්බන්ධතා උපයෝගී කොටගෙන දැවැන්ත ප්‍රචාරණයක් මෙම හිටපු අගවිනිසුරු වරයාගේ ප්‍රකාශයට ලබා දී ඇත. අද දින විභාගයට ගැනෙන නඩුවේදී මෙම ගොඩනගන මතය හා ඒ තුළින් කරනු ලබන බලපෑම හරහා දැනට අත් අඩංගුවට ගෙන ඇති දිවි නැගුම වංචාවට චෝදනා ලැබූ දුෂිතයින් නිදහස් කර ගැනීම මෙම ව්‍යාපාරයේ අරමුණ වී තිබේ.

නීති විශාරදයින් පෙන්වා දෙන්නේ නීතිය පිළිබඳ අවම හෝ දැනුමක් ඇති පුද්ගලයෙකුට සරත් සිල්වා මහතාගේ මෙම තර්ක සමඟ එකඟ විය නොහැකි බවයි. ඔහු පොලිස්පතිවරයා අත් අඩංගුවට ගත යුතු බවත්, දුෂණ චෝදනාවලට ලක්වූ සාක්ෂි සහිතව ඔප්පු වූ පුද්ගලයින් අත් අඩංගුවට ගැනීම නීති විරෝධී බවත්, පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පිහිටුවීම නීති විරෝධී බවත් පවසා ඇත.

ශ්‍රී ලංකා පොලිසිය යටතේ විශේෂ පොලිස් කොට්ඨාශ 22ක් දැනට පිහිටුවා ඇති අතර මුල්‍ය අපරාධ කොට්ඨාශය ඉන් එකකි. පොලිස් ළමා හා කාන්තා කොට්ඨාශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා පරිගණක අපරාධ කොට්ඨාශය වැනි පොලිස් කොට්ඨාශ විශේෂිත ඒකක ලෙස පිහිටුවා ඇත්තේ එම ක්ෂේත්‍ර සඳහා විශේෂඥ දැනුම සහිත නිලධාරීන් අවශ්‍ය නිසාත් එම අපරාධ පිළිබඳ විමර්ශන කඩිනම් කිරීමත් සඳහාය.

මතභේදාත්මක නඩු තීන්දු, ප්‍රකාශ සහ අවකල් ක්‍රියා පිළිබඳ චෝදනා රැසකට ලක්ව ඇති මෙරට අධිකරණ ඉතිහාසයේ අපකීර්තිමත්ම අගවිනිසුරු ලෙස ප්‍රචලිත සරත් සිල්වා මහතාගේ මෙම ප්‍රකාශ තුළින් මෙරට අධිකරණයට බලපෑමක් සිදු කළ නොහැකි බවද නීති විශාරදයින්ගේ මතය වී තිබේ. VIDEO

Facebook
Twitter
LinkedIn