රටපුරා සියළු පළාත් හා මධ්‍යම රජයේ රෝහල්වල දින 2 ක වැඩවර්ජනයක් සමස්ත ලංකා සුවසේවා සංගමයේ මූලිකත්වයෙන් ආරම්භ කර ඇති අතර ඒ හේතුවෙන් ප්‍රධාන රෝහල් රැසක දෛනික කටයුතුවලට බාධ එල්ල වී තිබේ. වර්ජනයට සමස්ත ලංකා සුව සේවා සංගමයේ ශ්‍රේණි 30කට අයත් සාමාජිකයින් 40,000ක පමණ පිරිසක් සහභාගී වී සිටින බව එහි සභාපති සමන්ත කෝරලේආරච්චි මහතා පවසයි.
මේ පිළිබඳව අදහස් දැක්වූ සමන්ත කොරලේආරච්චි මහතා
”අද (26) දිනයේ සෞඛ්‍ය සේවයේ ශ්‍රේණි 30 කට අධික සංඛ්‍යාවකට අයත් සමස්ත ලංකා සුවසේවා සංගමයේ සාමාජිකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සම්බන්ධ වී සිටිනවා. ඒ රුපියල් 3000/- ක විශේෂ දීමනාව සියළු කාර්ය මණ්ඩලයට ලබාදීම, 6/2006 වැටුප් චක්‍රලේඛයට අනුව හිඟ වැටුප් ලබාදීම යන ප්‍රධාන ඉල්ලීම් මුල්කරගෙන.
මෙම වැඩවර්ජනය කැඳවීම පිළිබඳව ඊයේ (25) දිනයේ මාධ්‍ය හමුවක් පවත්වමින් දැනුවත් කිරීම් සිදු කළා. පසුගිය සතිය පුරාම පැය 4 ක වැඩවර්ජනයක් කරා රට පුරාම. පළාත් රෝහල් වගේම ප්‍රධාන රෝහල්වල මෙම වැඩවර්ජන ක්‍රියා මාර්ගය දියත් වුණා. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශය වටකරල උද්ඝෝෂණ ක්‍රියාමාර්ග ගත්තා. ජාතික රෝහලේ සිට පාගමනින් ගොස් එදින සෞඛ්‍ය ලේකම්වරයා සාකච්ඡාවක් ලබාදුන්නත් පිළිගත හැකි විසඳුමක් ලැබුනෙ නැහැ. විශේෂ දීමනාව රු. 3000/- සියළු කාර්ය මණ්ඩලයට ලබාදීම, 6/2006 වැටුප් චක්‍රලේඛයට අනුව හිඟ වැටුප් ලබාදීම වගේ අපේ ප්‍රධාන ඉල්ලීම්වලට විසඳුමක් නැහැ.
අද අපි නිල වශයෙන් සෞඛ්‍ය ඇමතිවරයාව දැනුවත් කරල තමයි මෙම වැඩ වර්ජනය ආරම්භ කළේ. උදේ 6.00 සිට දවස් 2 ක් වැඩවර්ජනයක් කරන්න අපි තීරණය කරල තියෙනවා. අනිද්දා 27 සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටට ගිහිල්ල මේ සඳහා විසඳුමක් ගන්න උත්සාහ කරනවා. 40000 ක සේවකයො පිරිසක් මේ සටන සඳහා පෙළගැහිල ඉන්න නිසා අපි බලාපොරොත්තු වෙනවා සෞඛ්‍ය අමාත්‍යවරයා මෙදිනවත් අපිට සාකච්ඡාවක් ලබාදෙයි කියල.
පසුගිය රාජපක්ෂ ආණ්ඩුවෙ තිබ්බ සෞඛ්‍ය අමාත්‍යාංශයම තමයි තවම තියෙන්නෙ. තමන්ට හිතවත් නිලධාරීන් යොදවාගෙන හිතවත් වෘත්තීය සමිති නායකයො ලංකරගෙන තමයි ඔවුන් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙහෙයවන්නෙ. ඒ වගේම සාකච්ඡාවක් ලබාදෙන්න විධිමත් ක්‍රමවේදයක් නෑ. ඒ නිසා අනිද්ද 10000 ක් එක්ක සෞඛ්‍ය අමාත්‍යාංශයට අපි එන්න බලාපොරොත්තු වෙනවා. අපිට භාග උත්තරයක් නොවෙයි. පිළිගත හැකි විසඳුමක් අවශ්‍යයි. අපිට ඒක වහාම ලබාදෙන්න කටයුතු කරන්න කියල අපි සෞඛ්‍ය අමාත්‍යවරයාට බල කර කියා සිටිනව.” යනුවෙන් පැවසීය.









