කාන්තාවක් ගෙල පැළැඳ සිටි රුපියල් 50,000ක් පමණ වටිනා රන් මාලයක් කොල්ල කා පළායමින් සිටි කුරුඳුවත්ත පොලීසියට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකු තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රන් මාලය ගෙල පැලඳි කාන්තාව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කළමනාකාර නිලධාරිනියක බවද වාර්තා වේ. අදාළ කාන්තාව ඊයේ (11) පෙරවරුවේ රාජකාරිය සඳහා බස් රථයකින් පැමිණ සුහුරුපාය සුපිරි වෙළෙඳ සංකීර්ණය අසළ බස් රථ නැවතුමෙන් බැස මද දුරක් ඉදිරියට ගොස් ඇත. එහිදී ඒ අසළ සිටි පුද්ගලයකු එකවරම ඇය වෙත කඩා වැදී ගෙල පැළඳ සිටි මාලය රැගෙන පළාගොස් තිබේ.
පසුව ඇයගේ කෑගැසීමත් සමග රථවාහන රාජකාරියේ යෙදී සිටි තලංගම පොලීසියේ නිලධාරියෙකු සැකකරු පසුපස හඹා ගොස් ඔහුව අල්ලා සුහුරුපාය පොලිස් මුරපොළ වෙත රැගෙන ගොස් තලංගම පොලීසියට භාර දී ඇත.
සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ, ආර්ථික අපහසුකම් මැද නැන්දම්මාගේ රන්මාලය උකස් තැබූ බවත් එය බේරාදෙන ලෙස ඇය නිතරම ඇවිටිලි කරන බැවින් මෙම කොල්ලය සිදුකළ බවය.
මේ දිනවල තමන් පැලඳ සිටින ආභරණ, මුදල් පසුම්බි සහ ගමන් මලු සුරැකිව තබා ගන්නා ලෙසත් ඒ සම්බන්ධයෙන් සැලකිලිමත්ව කටයුතු කරන ලෙසත් මහජනතාවට දන්වමින් පසුගියදා පොලිසිය විසින් මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කර තිබිණි.










