රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධගෙ තර්ජනයට එරෙහිව සංවර්ධන නිලධාරීන්ගේ විරෝධය…

රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධගෙ තර්ජනයට එරෙහිව සංවර්ධන නිලධාරීන්ගේ විරෝධය…

වත්මන් ආණ්ඩුවේ විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ පසුගිය බදාදා (29) දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී රාජකාරියේ යෙදී සිටි ආර්ථික සංවර්ධන නිලධාරී වරයෙකුට බැන, තර්ජනයට කිරීමට එරෙහිව සංවර්ධන නිලධාරී සේවා සංගමය විරෝධය පල කර සිටී. ප්‍රාදේශීය ලේකම්වරිය ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලු මාණ්ඩලික හා සෙසු නිලධාරීන් හා දිවුලපිටිය ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් නිලධාරීන් ඉදිරිපිට මෙලෙස තර්ජනය කර බැන වදිමින් ශ්‍රවණාගාරයෙන් ඉවත්ව යන ලෙසට බලපෑම් කළ බව සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ලේකම් චන්දන සූරියආරච්චි විසින් ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයා වෙත ලිපියක් යවමින් පවසා ඇත.

එම ලිපියේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

“දේශපාලඥයෙකු රාජ්‍ය ආයතනයක් තුළ ඉදිමින් රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරී කාර්යයක දී තමන් අයත් නැති බලයක් යොදා ගනිමින් රාජ්‍ය නිලධාරියෙකු ශ්‍රවණාගාරයෙන් ඉවත් කිරීමට ඇති බලය කුමක්දැයි අපි ප්‍රශ්න කරන අතර තම නිලධාරීන්ට වන හිරිහැරය හා තර්ජනය වැළැක්වීමට ආයතන ප්‍රධානියෙකු වශයෙන් දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරිය ක්‍රියා නොකිරීම පිළිබඳවත් අපි අපේ කණගාටුව පළ කර සිටිමු.

රාජ්‍ය අමාත්‍යවරයාගේ තර්ජනයට හා බැනවැදීමට ලක් වූ නිලධාරියාගේ කිසිදු ආකාරයක වැරැද්දක් හෝ මොනයම් අඩුපාඩුවක් සිදු නොවී ඇති වටපිටාවක නම අඩගසා, අසුනින් නැගිට්ටුවා පිරිස ඉදිරියේ තර්ජනය කර බැනවැදී ශ්‍රවණාගාරයෙන් ඉවත්ව යන ලෙස තර්ජනය කිරීම බරපතල සිදුවීමක් බවත් රාජ්‍ය නිලධාරියෙකු සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතු විධි විධාන පවත්නා අතර දේශපාලඥයෙකුගේ මෙවැනි අපරිනත හා නූගත් ක්‍රියා කිසිසේත් රාජ්‍ය සේවකයින් ලෙස අපි අනුමත නොකරමු.
එමෙන්ම එම රාජ්‍ය නිලධාරියාට සිදු කළ තර්ජනය හා බැන වැදීම ඇතුළු එම අනීතික ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කඩිනමින් සිදු කළ යුතු බවත්, රාජ්‍ය නිලධාරියෙකුට රාජකාරී කාලසීමාව තුළ රාජ්‍ය ආයතනයක දී සිදු කළ මෙම ක්‍රියාදාමය සම්බන්ධයෙන් අදාළ රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව රටේ නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.

සියලුම ක්‍ෂේත්‍ර නිලධාරීන් දින 05ම කාර්යාලවෙත කැඳවීමට ප්‍රාදේශීය ලේකම්තුමිය ගනු ලැබූ තීරණයත් සමඟ එම ක්‍ෂේත්‍ර නිලධාරීන්ට රැඳී සිටීමට කාර්යාල පරිශ්‍රය තුළ ඇති එකම ශාලා පහසුකම වන්නේ ශ්‍රවණාගාරය වන අතර අනවශ්‍ය පරිපාලන තීරණ මඟින් යළි පීඩාවට හා අසාධාරණයට ලක් වෙන්නේ සාමාන්‍ය රාජ්‍ය නිලධාරීන් බව මේ සිදුවීම හරහාත් ඉතා හොඳින් පැහැදිලි වේ.

සංවර්ධන නිලධාරී සේවයට අයත් නිලධාරීන්ට විවිධ ආණ්ඩුවල මැති ඇමතිවරුන්ගේ තර්ජන හා බලපෑම්වලට මුහුණ දීමට සිදු වූ අවස්ථා හා දේශපාලඥයින්ගේ ගෝල බාලයින් විසින් රාජකාරීවලදී සිදු කරන පහරදීම් ඇතුළු සිදුවීම් ගණනාවක් පසුගිය කාල සීමාව තුළ මුහුණ දීමට සිදු වූ අතර ඒ කිසිදු අවස්ථාවක දී නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවිණි. ඉහළ නිලධාරීන් තම ආයතනික නිලධාරීන්ගේ රැකවරණය හා ආරක්ෂාව වෙනුවෙන් පෙනී නොසිටීමත් මත සංවර්ධන නිලධාරීන්ට රාජකාරී කාල සීමාව තුළ දැඩි අනාරක්ෂිත බවක් මතුව ඇති බව නිරීක්ෂණය වේ.

2023 මාර්තු 29 (බදාදා) දින දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී ඉහත නම් සඳහන් රාජ්‍ය අමාත්‍යවරයා විසින් සිදුකළ අනීතික ක්‍රියාමාර්ගයට පිළිගත හැකි සාධාරණ විසඳුමක් ලැබෙන තෙක් අදාළ රාජ්‍ය අමාත්‍යවරයා සහභාගීවන කිසිදු කමිටුවකට සහභාගී නොවී වර්ජනය කිරීමටත්, දිස්ත්‍රික්කය තුළ ඔහු සහභාගීවන පැල බෙදීම් ඇතුළු වෙනත් ආකාරයේ බෙදීම් සිදුකරන උත්සවවලට සහභාගී නොවී වර්ජනය කිරීමටත් තීරණය කර ඇති බව මෙයින් දන්වා සිටිමු.

2023 මාර්තු 31 දින ඔබගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන වැඩ සටහනට සහභාගී වීම ඉහත තීරණයට අදාළ නොවන බවද වැඩි දුරටත් දන්වා සිටිමු.”

Facebook
Twitter
LinkedIn